ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මේ වන විට තීරණය කර ඇති බව දේ...
ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි මේ වන විට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන් ජනපති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ නම් යෝජනා වී තිබූ අතර ඔවුන්ගෙන් වැඩි කැමැත්ත හිමිව ඇත්තේ චමල් රාජපක්ෂ මහතාට බවත් මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය බෙදීමක් ඇතිව ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් එම අර්බුද මැද 2020 ජනපතිවරණයේ ජනපති අපේකෂකයා මේවනවිට නම් කර ඇති බවද රාජපක්ෂවරු ඔහුගේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමු වී ඇත. එලෙස හමුවී ඇති රාජපක්ෂ සහෝදරයන් එක්ව මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු රාජපක්ෂ කවුරුන්ද යන්න තීරණයක් ගෙන ඇතත් අවස්ථාව උදාවන තෙක් එය රහසක් ලෙස තබා ගැනීමට තීරණය කර ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුදැයි තීරණය ගැනීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට බාර දුන් බවත් ඒ අනුව ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ රාජපක්ෂ කෙනෙක්ද වෙනත් අයෙක්දැයි තීරණය කිරීමේ අයිතිය හිටපු ජනපතිවරයාට තිබෙන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවද රාජපක්ෂවරුන්ගේ තීරණය පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයන් සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපති අපේක්ෂකයා නම් කිරීමට පෙර මේ වන විටත් විසුරුවා ඇති උතුරු මැද, සබරගමුව ඇතුළු පළාත් සභා වල මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවේය.
නමුත් විවිධ මතිමතාන්තර හා අදහස් තිබෙන පක්ෂ නායකයින් මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින බවත් ඒ සියලු දෙනා එජාපය පරාජය කිරීමට එකඟවී ඇති බවත් එම අරමුණ වෙනුවෙන් කටයුතු කළ හැකි ඕනෑම කෙනෙකුට එක්බද්ධ විපක්ෂයට එක්විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
COMMENTS