මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ඉදිරි දින කිහිපය තුළ අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තම...
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමට ඉදිරි දින කිහිපය තුළ අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා කඩිනමින් ගතයුතු ක්‍රියාමාර්ග රැසක් පවතින බවත් විශේෂයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන වදක තනතුර මේ වන විටත් පුරප්පාඩු වී ඇති බැවින් එම පුරප්පාඩුව කඩිනමින් පිරවිය යුතු බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසී ය.
ඊට අමතරව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් පවතින බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කොට කඩිනමින් විසදුම් ලබාගැනීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා කියා සිටියේය.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වී සිටින සිරකරුවන්ගේ නාම ලේඛනය අද(12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට සූදානම් බව අධිකරණ අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා පසුගියදා කල නියෝගයකට අනුව අදාල සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ අමාත්‍යංශය විසින් සකස් කර තිබේ.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පෙරේදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබූ අතර එහිදී ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිර දඩුවම් ලබමින් සිටියදීත් විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම මෙහෙයවන සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිය අනුමැතිය ලබා දීමට තීරණය කල බව ජනාධිපතිවරයා ඊයේ(11) මහනුවරදී ප්‍රකාශ කළේය.
රාජිතගේ විරෝධය
ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ කැබිනට් මණ්ඩලය මත් කුඩු ඡාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟවුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බවයි.
එසේම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙවැනි ගැටලු අඩුවී නැති බව ගවේෂණවලින් සොයාගෙන ඇති බවත් නමුත් මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අයට මරණිය දණ්ඬනය දීමට කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසී ය.
මේ වනවිට මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19 ක් බන්ධනාගාරයන් සිටින බවත් ඔවුන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන පුද්ගලයන්ට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
“මම මූලිකවම ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මොකද ලෝකයේ හොයාගෙන තියෙන ගවේෂණ වලින් පෙන්වා දී තිබෙනවා මරණ දඬුවම දුන්නා කියලා මේවා අඩුවෙලා නෑ. නමුත් ලෝකයේ බොහෝ රටවල මරණ දඬුවම දීලා තියෙනවා මත්කුඩු ව්‍යාපාර වලට. ලංකාවට මත්කුඩු ගේන මහාපරිමාණ ජාවාරම්කරුවන් 19ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ව ඒල්ලා මැරිය යුතුයි කියලා තමයි තීරණය කළේ. කොච්චර චෝදනා තිබුණත් පිලිපීන ජනපතිවරයා මේක කරගෙන යනවා. ඇතුළට ගිහින් මෙයට සම්බන්ධ හෝ දෙවැනි වරට මෙය කරන පුද්ගලයන්ගේ ලැයිස්තුව වහාම දෙන්න කියලා ජනපතිතුමා කිව්වා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මරණ දඩුවම හකුලාගත යුතුයි
මේ අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන්නේ නම් එම සැළසුම් හකුලාගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
එම දඩුවම ක්‍රියාත්මක නොකර, පවත්වාගෙන පැමිණි ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකාව පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ.
මරණ දඩුවම, කෘර සහ වෙනස් කළ නොහැකි දඩුවමක් බවත් ලොව බොහෝ රටවල් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති මොහොතක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමෙන් ශ්‍රී ලංකාව එම බිහිසුණු පිළිවෙත අනුගමනය කරන රටවල් ගොන්නට එක්වීමේ වැරදි පියවරක් ගැනීමට උත්සාහ කරන බවත් ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.
රජය මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා නම් එය කඩිනමින් නැවැත්විමට පියවර ගත යුතු අතර මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තම සංවිධානයන සම්පූර්ණයෙන් විරුද්ධ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS