යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම’ යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරාල්...
යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම’ යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩී. අයි කරුණාරත්නගේ අත්සනින් නිකුත් කර ඇති 2018 ජූනි 14 දාතම සහිත ලිපියෙන් 2018 ජූලි මාසය අග වන විට යුද හමුදාවෙහි පිරිස් බලය 25%කින් කප්පාදු කිරීමටත් රෙජිමේන්තු බලඇණි 33ක් සහ හමුදා කඳවුරු 100කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමටත් නියෝග කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටියේ ය.
අද (21) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවිර මහතා මෙසේ පැවැසුවේය.
“මේ යහපාලන ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවෙහි සහ එම මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාමාලාවෙහි සඳහන් ආකාරයට ඉස්පිල්ලක්, පාපිල්ලක්, තිතක්, කොමාවක් අඩු නැතිව අපේ ආරක්ෂක හමුදාවන්ගෙන් පලිගන්නා බවට තවත් උදාහරණයක් තමයි මම අද රට හමුවේ තබන්නේ. ඉහත වාර්තාවේ හා යෝජනාමාලාවෙහි තිබුණා ත්‍රිවිධ හමුදාව වෙතින් පරිපාලනමය වශයෙන් පලිගැනීමේ යෝජනාවක්. ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට පසුගිය ජූනි 14 වැනිදා ‘යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම’ යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවෙහි ප්‍රධාන මාණ්ඩලික අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ජී. ඩී. අයි. කරුණාරත්නගේ අත්සනින් යුත් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නියෝගය 2018 ජූලි මස අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන ලෙස ද එම ලිපියෙහි සඳහන්.
‘යුද හමුදාවේ 25%ක කප්පාදුවක්’
ඒ යටතේ යුද හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ අතර නිත්‍ය බලඇණි 14ක් සහ ස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. එහි දී කොමිෂන්ලත් හමුදා නිලයන් 1000කට ආසන්න ප්‍රමාණයක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිස් බලය 25%කින් අඩු වෙනවා. මේ ඊනියා සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය යටතේ ඉහත බලඇණි 33ට අයත් ජාතික ආරක්ෂාව කෙරෙහි ඉතා තදින් බලපාන උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු ඇතුළු හමුදා කඳවුරු 100කට වැඩි ප්‍රමාණයක් ඉවත් කෙරෙනවා. ඒ අනුව, නන්දිකඩාල් ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, ඉරණමඩු ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, මුලතිව් ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, තලෙයි මන්නාරම ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, මැණික්ෆාම් ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, පේදුරුතුඩුව ප්‍රදේශයේ හමුදා කඳවුරු 04ක්, තුනුක්කායි මල්ලාවි හමුදා කඳවුරු 04ක්, වවුනියාව පෙරියමඩු හමුදා කඳවුරු 04ක්, පුනරින් හමුදා කඳවුරු 04ක්, කිලිනොච්චි හමුදා කඳවුරු 04ක් ආදී වශයෙන් උතුරේ ආරක්ෂක මර්මස්ථානවල පිහිටි බොහෝ හමුදා කඳවුරු තවත් මාසයක් ඇතුළත ඉවත් කිරීමටයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
‘හමුදාව අභ්‍යන්තරයේ සිදුවිය හැක්කේ කුමක් ද?’
මේ ඉෂ්ට වන්නේ විජාතික බලවේගවලට සහ බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවට සිරිසේන -වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව ලබා දුන් පොරොන්දුයි. 2019 දෙසැම්බර් මස 05 වැනිදාට කලින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. යහපාලකයන් මේ හදන්නේ ඊට කලින් තමන් බලයට ගෙනා පිරිස්වලට දුන් පොරොන්දු අකුරටම ඉටු කර දීමටයි. මේ විදිහේ පරිපාලනමය නියෝගයකින් හමුදාව අභ්‍යන්තරයේ කුමක් ද සිදුවිය හැක්කේ ? බලඇණි 33කට අදාළ නිලධාරී තනතුරු 1000ක් පමණ අහෝසි වෙනවා. යුද සමයේ ක්‍ෂේත්‍ර මෙහෙයුම්වලට නායකත්වය දුන් මේ වනවිට මේජර් නිලයේ ඉන්නා පිරිසට උසස්වීම් අහිමි වෙනවා. එවිට වසර 20ක සේවය සම්පූර්ණ කොට ඔවුන් විශ්‍රාම ගැනීමට පෙළඹෙනවා. ඔවුන්ට ලුතිනන් කර්නල්, කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල්, ලුතිනන් ජෙනරාල් දක්වා යාම සිහිනයක් වෙනවා. යුද සමයේ විශිෂ්ට භූමිකාවක් ඉටු කළ රණවිරුවන්ගෙන් පරිපාලනමය ආකාරයට පලිගන්නේ මෙහෙමයි. මංගල සමරවීර සෙයිඞ් අල් හුසේන්ට, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ට දුන් ඒ පොරොන්දුව අකුරටම ඉටු වෙන්නේ මෙහෙමයි. ‘පරිපාලනමය වශයෙන් සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීම’ කියලයි මේකට කිව්වේ. යුද සමයේ විශිෂ්ට සේවාවක් ඉටු කළ ඉහළ හමුදා නිලධාරීන්ට අද උසස්වීම් නැහැ. විදේශ පුහුණුවීම් නැහැ. ඔවුන් දැරූ වගකීම්වලින් ඉවත් කර තිබෙනවා. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේට අත් වූ ඉරණම ඊට නිදසුනක්. ඉහළම නිලධාරීන්ගෙන් පරිපාලනමය වශයෙන් පලිගැනීම පහළ දක්වා ශීඝ්‍රයෙන් ගලායෑමට සැලැස්වීමයි මේ නියෝගයේ අරමුණ.
ලොව බිහිසුණුම ත්‍රස්තවාදය පැරද වූ යුද හමුදාවෙන් තමයි මේ විදිහට අද පලිගනිමින් තිබෙන්නේ. යුද හමුදාවෙන් පලිගනිද්දී අද රට බෙදන්න යුද්ධ කරපු බිහිසුණු ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ද ඇවිත් තිබෙනවා. ඒ වගේම සයිනයිඞ් කාලා මියගිය පළමු කොටි ත්‍රස්තවාදියා අද රජයේ මුදලින් ස්මාරක හදලා සැමරෙමින් තිබෙනවා. බුද්ධි අංශ දියකර හරිමින් තිබෙනවා. දැනටමත් උතුරේ හමුදා කඳවුරු සතුව තිබූ අක්කර 84,000ක් නිදහස් කර දී අවසන් බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පැවසුවා. එසේ තිබියදීයි මේ පුදුකුඩිඉරිප්පු, නන්දිකඩාල් වැනි මර්මස්ථානවල පිහිටි කඳවුරු ඉවත් කරන්නේ. උතුරේ ‘ආවා කල්ලිය’ තවමත් බෙලි කපනවා. යළි උතුරේ සන්නද්ධ ක්‍රියාකාරීත්වයකට තිබෙන ඉඩ වැඩියි. එසේ තිබියදී අත්‍යවශ්‍ය හමුදා කඳවුරු ටිකත් ඉවත් කරන්නැයි මේ නියෝගය දී තිබෙන්නේ. ‘ජාතිය දිනාගත් විජයග්‍රහණය ආපසු උදුරා ගන්නා මේ මහ පොළොව නුහුලන අපරාධයට ඉඩ දී නිහඬව ඉන්න එපා’ කියා අපි ජාතියේ සුජාත දූ පුතුන්ගෙන් ඉල්ලනවා.” යැයිද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS