රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයවලුන්ට ආරක්ෂාව සැ...
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයවලුන්ට ආරක්ෂාව සැපයූ නාවික හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
අදාළ නඩුව අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර දැනට ඇප මත මුදාහැර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පුළුල් ආකාරයෙන් පරීක්ෂණ සිදු කරන බව කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ට ආරක්ෂාව ලබා දුන් නාවික හමුදාවේ සාමාජිකයින් කිහිප දෙනෙකු පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය ඒ අනුව 2012 -1-1 වනදා සිට 2015-08-05 වනදා දක්වා කාලසීමාව තුළ ඔවුන්ගේ දෛනික සටහන් පොත්, කෙටි සංඥා හා නිවාඩු ලේඛන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද කියා සිටියේය.
ඉදිරි පරීක්ෂණ සිදු කර කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන මෙන් ද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජුනි මස 29 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලිසියට නියම කළේය.
COMMENTS