එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ වන විට මත දෙකක් ඉදිරිපත් වී තිබේ. මේ හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජාති...
එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ වන විට මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
මේ හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුමක් දක්වා එය වර්ධනය වී ඇතැයි වාර්තා වේ.
එම මත ගැටුම කරළියට පැමිණියේ ඊයේ(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමු දෙකකදී එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පළ කළ අදහස් දෙකක් හේතුවෙනි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න ඇමැතිවරයා සඳහන් කළේ මැයි දිනයට පසු තමා සමඟ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් එහිදී අගමැතිවරයාද සාකච්ඡා කළේ පොදු අපේක්ෂකයෙකු ගැන බවත්ය.
අගමැතිවරයාට මොනවා නැති වුණත් දේශපාලනය තේරෙන බවත් සඳහන් කළ ඇමැතිවරයා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂාව වන්නේද පොදු අපේක්ෂකයෙකු බවත් එම පොදු අපේක්ෂකයා කවුරුන් හෝ විය හැකි බවත් කියා සිටියේය.
මේ අතර එජාප මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූවේ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන්නේ පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම බවයි.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2020 එජාප ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තමන් 2020 දී විශ‍්‍රාම නොලබන අතර, නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 07 වනදා මඩකලපුවේදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමින් පැවසී ය.
පසුගිය වසර තුනක මහඟු අත්දැකීම් සමුදාය ඒ සඳහා ආශිර්වාදයක් කර ගන්නා බව ද සඳහන් කළ ජනාධිපතිවරයා රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයින් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද සඳහන් කළේය.
2020 හොඳම තරගකරුවා මෛත්‍රී
සමස්ත රටම නියෝජනය කරමින් ඡන්දය ලබාගත හැකි ජන නායකයෙක් බිහි වී නැති නිසා 2020දී ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි හොඳම තරගකරුවා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ විධායක සභික නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පැවසී ය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී පෙරේදා (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.
“මඩකළපුවේ පැවැති මැයි දින රැලියේදී ජනාධිපතිවරයා විවෘත ප්‍රකාශයක් සිදු කළා 2020දී විශ්‍රාම යන්නේ නෑ කියලා. 2015දී මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්තිය යටතේ එතුමා දුන් පොරොන්දු 90%ක් පමණ මේ වන විට ඉටු කර හමාරයි. එදා 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයත් පොරොන්දු වුණා විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒකට බහුතර ඡන්දයක් ලැබුණේ නෑ. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රි පාලනයක් යටතේ විධායක ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ජනවරම ලැබුණා.
පසුගිය දවස්වල මේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට කෙරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් අදහස් ප්‍රකාශ වුණා. ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම පිළිබඳ කරුණු කාරණා ජනාධිපතිතුමා අස්ගිරි-මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමිවරුන්ට පැහැදිලි කලා. දැන් පවතින ජනාධිපති ධුරය සඳහා පත් කළ හැක්කේ කවුරුන්ද කියන තර්කය මතු වෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට පත් වෙන්න බෑ. ඒ වගේම දේශපාලන කාලය තුළ අපිට කිසිදු තරගකරුවෙක් තවම පේන්න නැහැ. සම්පූර්ණ රටම නියෝජනය කරමින් ඡන්දය ලබාගත හැකි ජන නායකයෙක් බිහි වී නැති බව අපේ විශ්වාසයයි. ඒ නිසා හොඳම තරගකාරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බව අපි විශ්වාසයෙන් කියනවා.“ යැයිද රජික කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසී ය.
මෛත්‍රිගේ විශ්‍රාම යෑමේ තීරණය ජනතාව අතේ
රටේ පවතින ගැටලුවට විසඳුම් නොදෙමින්, ජනාධිපතිවරයා තමාට 2020දී විශ්‍රාම ගැනීමට කිසිදු අදහසක් නැතැයි පවසන බවත් එතුමා විශ්‍රාම ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ එතුමා නොව රටේ ජනතාව යැයි පොදුජන පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
2020 නොව 2019 මැතිවරණයේදී සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂකයකු වෙනවා නම් ඔහු ලබන ඡන්ද අනුපාතය 5% මට්ටමට බැසීමේ විශාල අවදානමක් තිබෙන බවත් මේ පිළිබඳව ජනමතය උරගා බැලීමට අවංක චේතනාවක් ඇත්නම් එතුමා කළ යුත්තේ වෙන කිසිවක් නොව, පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට තමන් කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමට අවස්ථාව ලබාදීම බවත් ජී.එල්. පීරිස් මහතා පසුගියදා බොරැල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
COMMENTS