ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව මුදල් අමාත්‍යංශය සකස් කරන ලද නව මිල සූත්‍රය අද (24) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව...
ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව මුදල් අමාත්‍යංශය සකස් කරන ලද නව මිල සූත්‍රය අද (24) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම මිල සූත්‍රය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (24) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.
ලෝක වෙළෙඳ පොළේ ඉහළ ගොස් ඇති බොර තෙල් බැරලයකට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ යුතු බව සහ නැතිනම් ඛණිජ තෙල් සංස්ථාවට බදු සහනයක් හෝ අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍යංශ බලධාරීන් මුදල් අමාත්‍යංශයට මීට මාසයකට පෙර ලිඛිතව දැනුම් දී තිබුණි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය විසින් ඛණිජ තෙල් මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට පියවර ගනු ලැබිය.
මුදල් අමාත්‍යංශය විසින් සකස් කරන ලද මෙම නව මිල සූත්‍රයට අනුව ඛණිජ තෙල් මිල ඉහළ දැමීමට නියමිත අතර අද (24) රැස්වීමට නියමිත කැබිනට් සාකච්ඡාවේදී ඒ සඳහාද බොහෝ දුරට අනුමැතිය හිමිවනු ඇති බව ඛණිජ තෙල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මාස තුනෙන් ඉන්ධන මිල වැඩිවෙයි
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.
මෙම තත්ත්වය හමුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට දිනකට රුපියල් මිලියන 38ක අතිරේක පාඩුවක් සිදුවූ අතර මේ හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ නැංවිය යුතු බවට මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල හමුවේ මෙම මිල සූත්‍රයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස දෙකකට හෝ තුනකට වරක් මිල සංශෝධනයක් සිදුවිය හැකි බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි මාස දෙක හෝ තුන ඇතුළත ඉන්ධන මිලේ ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
නිලධාරී කුමන්ත්‍රණයක්?
මේ අතර මිල සූත්‍රයත් සමඟ සංස්ථා තෙල් මිල වැඩි කරන ලෙසට ඉන්දියානු තෙල් සමාගමෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවට ඛනිජ තෙල් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉන්දියානු තෙල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් දැඩි අලාභයක් ලබමින් සිටින නිසා තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල තෙල් මිල ඉහළ දමා මිල සම මට්ටමකට ගෙන ඒමේ උත්සාහයක නිරතවෙන බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මිල සූත්‍රයත් සමඟ තෙල් මිල ඉහළ දැමීමෙන් ඉන්දියානු තෙල් සමාගම දැන් ලබන පාඩුව අවම කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.
මේ අතර ඉහළ පිරිසකට මුදල් ලබාදී තෙල් මිල ඉහළ දැමීමට එකඟ කරවා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව විශේෂ විමර්ශනයක් කිරීමට ඇමැති අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇත.
COMMENTS