බක් පුන් පොහොය දිනය ශ්‍රී ලාංකික අප කාටත් වැදගත් උතුම් පොහොය දිනයකි. අප ලොව්තුරා බුදු පියාණන් විසින් කරුණා ගුණයෙන් සාමය උදාකල උතුම් දිනයක්...
බක් පුන් පොහොය දිනය ශ්‍රී ලාංකික අප කාටත් වැදගත් උතුම් පොහොය දිනයකි. අප ලොව්තුරා බුදු පියාණන් විසින් කරුණා ගුණයෙන් සාමය උදාකල උතුම් දිනයක් ලෙසටද මෙම පොහොය දිනය හැදින්විය හැක.
“මහෝදර” යනු යොදුන් පන්සියයක් වූ නාග රාජ්‍යයක අධිපතිය. ඔහු ඉතා බලසම්පන්න වූ අතර ඔහුගේ බෑනනුවන් එනම් නැගණියගේ පුත්‍ර රත්නය වූයේ “චූලෝදර”ය. “කන්වඩම්” පර්වතයේ නා රජු චූලොදරගේ පියා විය. මහෝදර නා රජුගේ පියාණන් හට ඉතා අගනා මැණික් ඔබ්බවූ පුටුවක් විය. ඔහු මිය යනවිට එම මැණික් ඔබ්බවූ පුටුව තම පුතුවූ මහෝදර හට නොදී තම දුව(මහෝදර රජුගේ නැඟනිය වූ චුලෝදරගේ මෑණියන්) හට එය පැවරීය. මෙය නාරජවරු දෙදෙනාගේ විරසකයට හේතු විය.
මෙම විරසකය වර්ධනය වී කෝළාහලයකටත්, පසුව එය විශාල යුද්ධයක් දක්වාද වර්ධනය විය. සිදුවන්නට යන මහත් ව්‍යවසනය දිවැසින් දුටු අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “දෙව්රම් වෙහෙර” දොරටුව අසල වූ කිරිපළු රුක අරක්ගෙන සිටි “සුමිද්ධ සුමන” දිව්‍ය පුත්‍රයාද කැදවාගෙන ලක්දිව නාගදීපයට වැඩම කලෝය. ගමනාරම්භයේදී සුමිද්ධ සුමන දිව්‍ය රාජ්‍යයා තමා අරක්ගෙන සිටි කිරිපළු රුක උගුල්ලා එය ඡත්‍රයක් සේ බුදු පියාණන් වෙත අල්ලාගෙන තමා පෙර ජාතියකදී විසූ නාග දීපයට පැමිණියේය.
එසේ වැඩම කල උන් වහන්සේ යුධ භූමියේ සිටි නාග සේනාව වෙත අහසේ වැඩ හිදිමින් ඝණාදුරක් මවා පේවෝය. ඉන් බියට පත් නාග සේනාවෝ උන් වහන්සේට පසඟ පිහිටුවා වැද නමස්කාර කළෝය. ඉන් පසු අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උඬගුකමේ ආදීනව පෙන්වා දෙන හා සාමයේ වැදගත්කම කියැවෙන “කකොලුක, ලටුකික, වට්ටක හා එන්දන” යන ජාතක කථා අළෙලා ධර්මය දේශනා කලේය. ඉන් පසු නාග රජ දෙපල ඇතුළු අනෙකුත් පිරිවර බුදුන් සරණෙහි යමින් මැණික් ඔබ්බවූ පුටුව බුදු පියාණන් හට පූජා කරන ලදි.
අවසානයේ දී නා රජුන් බුදු පියාණන් සිහිවනු වස් උන්වහන්සේගේ පූජා වස්තුවක් ඉල්ලූ විට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උන් වහන්සේට පූජා කල මැණික් පුටුව හා කිරිපළු රුක පූජා වස්තූන් ලෙස නා රජ දෙපලට පවරා දෙන ලදි. ඉන් පසු එම මැණික් පුටුව නිදන් කොට නාගදීපයේ ස්තූපයක් කරවූ අතර එය “රාජායතන” ස්තූපය ලෙස හැදින්වීය. අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයත් (බුද්ධත්වයෙන් පස් වසරකට පසු), නා රජුන් දමනයත් සිදුවූයේ මෙම උතුම් බක් පුන් පොහොය දින්යේදීය. තවද මෙම දිනයේදීම සිදුවූ තවත් වැදගත් සුදුවීම වන්නෙ මහෝදර නා රජුගේ සහයට පැමිණි ඔහුගේ මයිලනුවන් වන “මණි අක්ඛිත” නා රජු විසින් බුදු පියාණන් හට තම අණසක පැතිරුනු “කැළණිය” වෙත වඩින මෙන් ආරාධනා කලේද මෙම උතුම් පුන් පොහොය දිනයේදීය.
COMMENTS