යාපනයේ සංකානෙයි ප්‍රදේශයේදී හින්දු පූජකවරයෙකු ඝාතනය කිරීමේ හා තවත් අයෙකුට තුවාල සිදුකිරීම හා කොල්ලකෑම යන සිද්ධීන් කීපයකට වැරදිකරුවන් වූ යු...
යාපනයේ සංකානෙයි ප්‍රදේශයේදී හින්දු පූජකවරයෙකු ඝාතනය කිරීමේ හා තවත් අයෙකුට තුවාල සිදුකිරීම හා කොල්ලකෑම යන සිද්ධීන් කීපයකට වැරදිකරුවන් වූ යුද හමුදා සෙබලෙකු ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකුට යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා විසින් අද (22) මරණීය දණ්ඩනය නියම කරණ ලදී.
2010 අප්‍රේල් මස 11 වෙනිදා යාපනයේ සංකානෙයි හින්දු කෝවිලේ පූජකවරයා වූ එස්.ශිවානන්දන් කුරුක්කල්වරයාගේ නිවසට ඇතුළු වී ගිණි අවියකින් වෙඩි තබා කුරුක්කල්වරයා මරදැමීම, ඔහුගේ පුතණුවන්ට එම ගිණි අවියෙන්ම වෙඩිතබා තුවාල සිදු කිරීම,යතුරු පැදියක් හා මුදලින් රුපියල් 50,000 ක් කොල්ල කෑම යන චෝදනා සියල්ලටම විත්තිකරුවන් තුන් දෙනාම වරද කරුවන් බවට පත්විය.
මිනී මැරුම් චෝදනාව සම්බන්ධයෙන් වරද කරුවන් වීම නිසා විත්තිකරුවන් තුන්දෙනාට මරණීය දණ්ඩනය නියම කල අතර පූජකවරයාගේ පුතණුවන්ට තුවාල සිදු කිරීම හා දේපල කොල්ලකෑම යන චෝදනා වලට වසර 20 බැගින් වූ සිරදඩුවම් විත්තිකරුවන් තුන්දෙනාටම නියම කරණු ලැබීය.
2010-04- 11 වෙනි දින මේ සිද්ධියෙන් පසුව පොලීසිය හා යුදහමුදාව විසින් කරණ ලද පරීක්ෂණ වලට අනුව යුද හමුදා සෙබළෙකු හා තවත් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන්වූ මූලික නඩු විභාගයක් යාපනය දිසා අධිකරණයේදී පැවැත්විණි.
එම නඩුවේදී මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇපමත නිදහස් වූ අතර නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව යාපනය මහධිකරනයේදී විභාග වූ අවස්ථාවේදී ඔවුන් තුන් දෙනාම වරද කරුවන් බවට පත්විය.
මේ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූයේ යාපනයේ පදිංචි කේ.මුහුන්දන් හෙවත් ශක්ති, බාලසුබ්‍රමනියම් ශිවරූබන් යන දෙදෙනා හා යුදහමුදා සෙබළ පේදුරු ගුණසේන යන තුන්දෙනාය.
(දිනසේන රතුගමගේ)
COMMENTS