ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය යටතේ තවදුරටත් මුදල් ලබාදෙනවාද නැත්තම් නැවතත් පොහොරම ලබාදෙනවාද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරයා සමඟ...
ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය යටතේ තවදුරටත් මුදල් ලබාදෙනවාද නැත්තම් නැවතත් පොහොරම ලබාදෙනවාද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මේ වනවිට ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින බැවින් එම සංචාරය නිම කර මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර යල කන්නය සඳහා පෝර නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ වනවිටත් ගෙන නොමැති බවත් කලට වේලාවට ගොවියා අතට වගාවට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් දිවයින පුරා විසිරී සිටින ගොවි නියෝජිතයන් සමඟ පසුගිය 9 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී පොහොර සහනාධාරය යටතේ මුදල් වෙනුවට පොහොර ලබාදීම එසේ නැත්තම් වී ගොවිතැන සඳහා පොහොර රුපියල් 500ක මිලකටත් අනෙකුත් ගොවිතැන් සඳහා පොහොර රුපියල් 1500ක් වැනි ස්ථාවර මිලකටත් විවෘත වෙළෙඳපොළෙන් ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරදීම හෝ එම පොහොර සහනාධාරය ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාගැනීමට සැලැස්වීම යනාදී යෝජනාවන් ගොවි නියෝජිතයන් ඉදිරිපත් කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එම යෝජනා සියල්ලම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එතුමාගේ උපදෙස් අනුව මේ සම්බන්ධව අවසන් තීරණය ගැනීමට පියවර ගන්නා බවත් ඔහු පැවසී ය.
ලෝක වෙළෙඳපොළේ මේ වනවිට පොහොර මිල ඉහළ ගොස් ඇති බවත් පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අසාර්ථක එකක් බවට මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් පැවැසූ හෙතෙම කෙසේ වෙතත් පොහොර සහනාධාරය යටතේ මුදල් වෙනුවට පොහොර ලබාදීම වඩාත් ප්‍රායෝගික වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කියා සිටියේය.
ඉකුත් දා පැවැති ගොවි නියෝජිත හමුවේදී පොහොර සහනාධාරයට වැය කරන මුදල් සැසඳීමේදී හාල් සහ අල පිටරටින් ගෙන්වා බෙදාහැරීම ලාබදායක බවත් එසේ වුවද රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය කප්පාදු නොකරන බවටත් අමාත්‍යවරයා නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළ බවත් රුපියල් පන්සියයක් වැනි මිලකට කිලෝ පනහේ පොහොර මල්ලක් ලබාදීමේදී රජයට තවත් රුපියල් බිලියන අටදහසක් වැයවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.
මේ වනවිට රුපියල් බිලියන විසිපහක මුදලක් පොහොර වෙනුවන් රජය වැයකර තිබේ.
කෙසේ වෙතත් සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සදහන් කළේ ගොවි ජනතාව හට සාධාරණ මිලකට පොහොර මිටියක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බවයි.
අධික මිලකට පොහොර ලබාදීමට ආණ්ඩුවේ සැළසුමක් ඇති බවට තොරතුරු වාර්තා වන බව ඔහු පැවසී ය.
COMMENTS