ඉතිහාසයේ ප‍්‍රථම වරට ආණ්ඩු බලය ඉසිලූ පක්ෂයක් පළාත් පාලන මැතිවරණයකදී පරාජය වී තිබේ. රට පුරා ඇති මහනගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභා 341 කි...
ඉතිහාසයේ ප‍්‍රථම වරට ආණ්ඩු බලය ඉසිලූ පක්ෂයක් පළාත් පාලන මැතිවරණයකදී පරාජය වී තිබේ. රට පුරා ඇති මහනගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභා 341 කින් ස්ථීර බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ආයතන 7 ක පමණි. එයද දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයින්ට පින්සිදුවන්නටය.
1994 සිට වසර 24 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ ලබාගත්තේ ඒ මහතාගේ 30 වැනි මැතිවරණ පරාජය බව කණගාටුවෙන් වුව කිවයුතුය.
2018 සැප්තැම්බර් හා 2019 අප්‍රේල් මාසයට නියමිත පළාත් සභා මැතිවරණ වලදී එය කවර ආකාරයකට පැවැත්වුවද එක්සත් ජාතික පක්ෂයට අත්වන්නේ අන්ත පරාජයක් බව මේ වනවිට පැහැදිලි වී තිබේ. එහිදී, කෙසේවත් මෙවර ලැබුණු ඡන්ද ලක්ෂ 36 හෝ 32% ක ප්‍රතිශතය රැක ගැනීමට නොහැකි වනු ඇත. එමෙන්ම, 2019 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම යළිත් වරක් සිහිනයක් පමණක් වනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට නම් කිසි කලෙක මෙරට ජනාධිපතිවරයා වීමට ඉඩක් ඇත්තේද නැති බව සමාජ හැසිරීම සමාලෝචනයේදී ඉදුරාම පැවසිය හැකිය.
2019 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ රාජපක්ෂ පවුල විසින් ජයගතහොත්, එක්සත් ජාතික පක්ෂය තවත් දශක කිහිපයක්ම බලයෙන් පහවීම හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූවා සේ දේශපාලන සිතියමෙන් අතුගෑවී යෑම වැලැක්විය නොහැකි බව කාටත් පෙනීයන කරුණකි.
මේ සියල්ලට හේතුව කෙළින්ම පැවසුවහොත්, කිවහැක්කේ, අභන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති, ජාතික නායකත්වයක් නැති, ව්‍යවස්ථා උගුල් හා දේශපාලන කුමන්ත්‍රණ හැර අන් කිසිම දේශපාලන උපායක් හෝ උපාය මාර්ගයක් හෝ රාජ්‍යතාන්ත්‍රික භාවයක් නැති, කෙටියෙන්ම කිවහොත් යුගයට කිසිම ගැලපීමක් නැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ගජමිතුරු පාලන කල්ලියයි.
2014 වසරේදී අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සදහා සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය නිර්මාණය කරද්දී, 2015 ජනාධිපතිවරණය සදහා උන්වහන්සේගේ සැගවුණු පොදු අපේක්ෂකයා වූයේ කරූ ජයසූරිය මහතාය. එහෙත්, තමන් හැර අන් එක්සත් ජාතික පක්ෂ, පාක්ෂිකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ නිසා (2010 ජනාධිපතිවරණයේදී ද මේ අයුරින්ම සිදුවිය) චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට මෛත්‍රීපාල මහතා කරලියට ගැනීමට සිදුවිය. එසේ නොවුණා නම් මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායමේ සහයෝගයද කරූ ජයසූරියට හිමිවන්නට ඉඩ තිබිණි. එසේ වූවා නම් අද සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකි.
එම තත්වය වලක්වන ලද්දේ අන් කවරෙකු වත් නොව, මා නැත්නම් එක්සත් ජාතික පක්ෂයට කිසිවෙකු එපා යන පටු ආත්මාර්ථකාමී චින්තනයේ එල්බ සිටින රනිල් වික්‍රමසිංහ මහතාය.
2018 පළාත් පාලන මැතිවරණ පරාජයෙන් පසුවද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සුළුතර පක්ෂවල නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් තනා එහි නායකයා ලෙස කරූ ජයසූරිය අගමැති ධූරයට පත්කර පළාත් සභා හා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි. එයද කඩාකප්පල් කළේ රනිල් වික්‍රමසිංහ මහතාය. දැන් එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ තවත් මැතිවරණ පරාජයන් පෙළක් පමණි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම හෝ ඔහුගෙන් පසු අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා කරවීමේ වික්‍රමසිංහ මහතාගේ සිහිනයද හුදු සිහිනයක් පමණක්ම වනු ඇත.
දැන් වික්‍රසිංහ මහතාගේ උපාය නම් සජිත්, හරීන්, අජිත්, සුජීව වැනි තමන්ට අභියෝගයක් එල්ල කළ හැකි තරුණ පිරිසට පක්ෂයේ ඊළග නායකත්වය නම් කැරට් අලය පෙන්වා නියතව පරදින පළාත් සභා ඡන්දයෙන් ඔවුන්වද දේශපාලනිකව විනාශ කිරීමය.
ලෝකයේ බොහෝ නායකයින් දශක දෙකකට අධික කාලයක් පක්ෂ නායකකම්වල සිට ඇත. එහෙත්, ඒ සෑම විටම ඔවුන් මුහුණ දුන් මැතිවරණ ජයග්‍රහණය කර ඇත. (උදා - මුගාබේ, කියාමේ, පුටින්, මර්කල්) ලොවේ කිසිදු ප්‍රජාතාන්ත්‍රික රටක මැතිවරණ ජයග්‍රහණය නොකළ, පරාජිත නායකයන් දශක දෙකකට වැඩි කාලයක් ප්‍රධාන විපක්ෂයේ නායකයාව සිට නැත. රටේ අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දශක තුනේදී නායකයන් තුන් දෙනෙකු බිහිකර ඒ තිදෙනාම රටේ රාජ්‍ය නායකයා බවට පත්කර ඇති බව සිහිකරන විට, එක්සත් ජාතික පක්ෂය සමාන වන්නේ පැරණි ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි වාමාංශික පක්ෂවලට මිස ලෝකයේ දියුණු ප්‍රජාතාන්ත්‍රික පක්ෂයකට නම් නොවේ.
රනිල් වික්‍රමසිංහ මහතා ගැන පතුරුවා තිබූ ව්‍යාජයන් රැසක් ඔහුගේ 2015 - 2018 කාර්යසාධනය විසින් හෙළිකර ඇත.
ඒවා පහත අයුරින් ගොණුකළ හැකිය.
01. ඔහු දූෂිත පුද්ගලයෙකු නොවන බව
මහ බැංකු මංකොල්ලයේ ප්‍රධානියා රවී කරුණානායක හෝ අර්ජුන් මහේන්ද්‍රන් නොව, රනිල් වික්‍රමසිංහයන් බව දන්නෝ දනිති. දැනට හෙළිවී ඇති කරුණු අනුව, මෙන්ඩිස් ස්පෙෂල් හි විශේෂ ගිණුමකින් අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ පියා රුපියල් මිලියන 1190 ක් එක්සත් ජාතික පක්ෂ නායකයින් හා මන්ත්‍රීන් අතර බෙදා දීමක් සිදුවී තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි වලින් කියැවේ. බැඳුම්කරය නිසා පොලී අනුපාත ඉහළයාමෙන් ආර්ථිකයට වූ හානිය ට්‍රිලියන ගණනකි.
02. ඔහු මොළයක් බව
පසුගිය කාලය තුළ රට කරවීමේදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වූ අදූරදර්ශී, අමනෝඥ ආර්ථික උපක්‍රම දෙස බලන කල, (ඔහු ළගාකර ගත්තේ 4% කට අඩු ආර්ථික වර්ධනයකි. ඩොලර වටිනාකම අනුව 2016 දී ඒක පුද්ගල ආදායම සෘණ විය) මොළයක් යැයි කියූ මොහුගේ මොළය ඇත්තේ කොහේදැයි පරීක්ෂා කළයුතුව තිබේ. තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන්කර තමන්ට ජයගත හැකි බවට ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපක්‍රම කරන්නට ගොස් මහින්ද - බැසිල් කල්ලියෙන් සල්ලං වූ ආකාරයෙන් පෙනී යන්නේද ඔහු දේශපාලන ලෙසද අමු මෝඩකම් කරන බවය. එමෙන්ම, අතේ පත්තුවන ලෙස මහබැංකුව, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගය ආදියෙන් කළ ගසාකෑම්වලින් පෙනීගියේ මැදමුලන කල්ලිය කොල්ලුපිටියේ පැරණි රෝයල් කල්ලියට වඩා මහ මොළකරුවන් බවය. එමෙන්ම, වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය මත පැටවී ඇති 25% ක කාන්තා මන්ත්‍රීවරියන්ගේ අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා බව සියළු දෙනා මතක තබා ගත යුතුය. සිය බිරිඳ වූ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය එන්.ජී.ඕ. සංවිධානවල ඉල්ලීම මත මුළු පළාත් පාලන මැතිවරණ ක්‍රමයම මෙමගින් අවුල් කර ඇති බවද කිවයුතුය.
03. ඔහු නූතනවාදියෙකු බව
රනිල් වික්‍රමසිංහ මහතාගේ ලෝකය දශක ගණනක් පැරණි ලෝකයකි. ඔහු දන්නා නවීන ආර්ථිකය හෝ තාක්ෂණ ක්‍රමවේදයක් නැති බව තේරුම් ගැනීමට පසුගිය වසර 3 ප්‍රමාණවත්ය. ඔහුගේ දේශපාලන ගජමිතුරන් වූ මලික්, රවී, අකිල, වජිර ගත්ත ද, නිලධාරී ගජ මිතුරන් වූ පාස්කරලිංගම්, ඔස්ටින් ප්‍රනාන්දු, චරිත රත්වත්ත, කෙන් බාලේන්ද්‍රන්, අජිත් ද කොස්තා, අජිත් ඩයස් ආදීන් ගත්තද වයසට ගිය, යල් පැණගිය වැඩබැරි පිරිසක් බව සහසුද්දෙන්ම පෙනීගොස් තිබේ. මේ රට කරගත්තේ, වසර තුනක් මේ දේශපාලන විශ්‍රාමිකයන්ට රට බාරදී රටේ කාලය ආපස්සට යැවීම පමණි. නූතනවාදීන් විය හැක්කේ ටයිකෝට් ඇදීමෙන්, කෝපි බීමෙන්, සැන්ඩ්විච් කෑමෙන් නොවේ. ලොවේ නූතන ප්‍රවනතාවයන් රටේ තත්වයට ගැලපෙන ලෙස සකස් කර ගැනීමෙනි.
04. ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් නායකයෙකු බව
රනිල් වික්‍රමසිංහ, ලිබරල් ක්‍රිස්තියානි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු එකම සාමාජිකයාය. මේ බව සමාජයට වසන් කර තිබේ. කෙසේ වෙතත්, ඔහු ක්‍රමයෙන් කුණුවී ගිය වාමාංශික දේශපාලනය තමන්ගේ කොන්සර්වෙටිව් මූලධර්ම සමග දෙමුහුන් කරන්නට ගොස් අද ප්‍රතිපත්තියක් නැති විකෘතියක් බවට ජයවර්ධන ජනාධිපති ගොඩනැගූ ප්‍රතාපවත් කොන්සර්වෙටිව් එක්සත් ජාතික පක්ෂය පත්කර ඇත. එමෙන්ම, එදා මෙන් නොව, දැන් ජාත්‍යන්තරයද වෙනස් වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය ආදීයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදය කොන්සවෙටිව් පක්ෂ උදුරා දමමින් ඉදිරියට එයි. චීනයේ රතු ධනවාදය විසින් ලෝකයට අලුත්ම ආර්ථික මාදිලියක් ලබාදී තිබේ. මේ කිසිවක් ගැන රනිල් වික්‍රමසිංහ මහතාට අවබෝධයක් නැති බව පෙන්. එමෙන්ම, ජාත්‍යන්තරව අපට එල්ලවූ බලපෑම පාවාදීම් වලින් තොරව වෙනස් කිරීමට ඔහුට හැකියාවක් ලැබීද නැත. දැන් ඔහු ජාත්‍යන්තරය ඉදිරියේද ගලේ පැහැරූ බළලෙකුගේ තත්වයට පත්ව ඇත.
05. රනිල් වික්‍රමසිංහ සුළු ජාතීන්ට ප්‍රිය බව
පළමුව කිව යුත්තේ බහුතර සිංහලයන්ගේ බහුතරය දිනා ගැනීමට නොහැකි නම් රට පාලනය කිරීමට නොහැකි බවය. ජයවර්ධන, චන්ද්‍රිකා ජනාධිපතිවරු දෙදෙනාම සුළු ජාතීන් ආකර්ෂණය කළේ බහුතර ජාතියේ බහුතරය දිනා ගැනීමෙනි. මෙවර මැතිවරණයේදී පෙනීගොස් ඇත්තේ එක් අතකින් සිංහල ජනයා අතර රනිල් වික්‍රමසිංහ මහතා පිළිකුලට ලක්වන විට ඔහුගේ දෙමළ සහායකයින් වූ සුබන්දිරන්, සම්බන්ධන් ආදියටද දෙමළ සමාජයේ මහත් පරාජයක් ලැබී ඇති බවය. (යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය 33% කි. හරියටම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ප්‍රතිශතයයි. 2013 පළාත් සභා මැතිවරණයේදී දෙමළ සන්ධානය 78% ක් යාපනයේ ඡන්ද ගත්තේය). එමෙන්ම, දිගම්බරන්, මනෝ ගණේෂන් ආදීන්ටද වතුකරයේ පරාජය අත්වී ඇති බවය. නැගෙනහිර එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් පදනම අතුගෑවී ඇති බවය. දෙමළ, මුස්ලිම් සියළු ජනයාද රනිල් වික්‍රමසිංහ අසාර්ථක බව පිළිගනිමින් ඇති අතර, ඔහු සමග කටයුතු කළ දෙමළ මුස්ලිම් නායකයන්ද ජනතාව විසින් පරාජය කර ඇත.
මේ සියලු කරුණු එක්ව ගත්කළ පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටින්නේ කරුණු කිහිපයක් මත බවය.
01. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට 1995 කතරගමදී කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනයෙන් නායකයාට ගත් අසීමිත ඒකාධිපති බලතල.
02. 19 වැනි සංශෝධනය හරහා ස්වාධීන කොමිසම්වලට මුවා වී අගමැතිවරයාට ගත් ජනාධිපති ව්‍යවස්ථා බලතල.
03. එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහට අභියෝගයක් කිරීමට දක්වන බියසුළු කම හා රනිල් වික්‍රමසිංහ පැරදුණු විට තමන්ට නිකම්ම නායකත්වය එතැයි සිතනා සජිත් ප්‍රේමදාස මහතාගේ දුර්වල සිතුවිල්ල. (නායකත්වය ගන්න 2020 න් පසු එක්සත් ජාතික පක්ෂයක් ඉතුරු වන්නේද නැත)
04. රනිල් වික්‍රමසිංහ මහතා බලයේ තබාගැනීමට ඔහුගේ ගජමිතුරු කල්ලිය සල්ලි බෙදමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් නැටවීම.
05. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාද කිසි විටෙක ඉඩ නොදීම.
යන ඉහත කාරණා මතය.
මේ සියල්ල වෙනස්කර එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට, එක්සත් ජාතික පක්ෂ තරුණ නායකයන් ක්‍රියා නොකළ හොත් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ සමගම එක්සත් ජාතික පක්ෂය වලපල්ලට යෑම පමණකි. පැහැදිලිව පෙනෙන සත්‍ය එයයි.
බී.එම්. චන්ද්‍රකීර්ති,
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ
හිටපු කථිකාචාර්ය
chandrakirthib@gmail.com
COMMENTS