ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක...
ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය ගැටළුවක් මතුව තිබේ.
මේ නිසා ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම තවත් ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අදහස් හුවමාරු කරගනිමින් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිරීතිවලට අනුව නිල දැනුම්දීමක් ලබාදෙනතුරු ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බවත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ලැබෙන බවත් එම ආරංචි මාර්ග පැවසී ය.
එක්සත් ජනපදය බලා ගමන් කරමින් සිටියදී උදයංග වීරතුංග ඊයේ ඩුබායි ගුවන් තොටුපලේදී ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මිග් යානා ගණුදෙනුවට අදාළව අක්‍රමිකතාවක් සිදුකිරීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් සිදුකෙරේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කළේය.
මේ අතර උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සිදුකළ හැක්කේ තානාපති සබඳතා යටතේ පමණක් බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
ජාත්‍යන්තර පොලීසිය මගින් වෙනත් රටකදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු තවත් රටකට භාරදීමට අදාළ උදර්පන නීතියට ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග මෙතෙක් ගිවිසුම් ගතවී නොතිබීම ඊට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS