බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව පිළිබද ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දෙදරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. ඒ අන...
බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව පිළිබද ජනාධිපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දෙදරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එජාප ප්‍රබලයින් අතර දැඩි කැලඹීමක් ඇති වීමට තරම් එය බලපෑ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේ වෙතත් එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙකු වන එජාප උප නායක රවී කරුණානායක මහතා සහ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර බැදුම්කර වංචාව පිළිබද අවසන් වාර්තාව පිළිබඳ පරස්පර ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.
එහිදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ.
එහෙත් බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල වන එජාප උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ මතය වන්නේ බැදුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු ව්‍යාජ ඒවා බවයි.
බැඳුම්කර සිද්ධියට අදාල අවසන් වාර්තාවේ මුල් පිටපත ඉදිරිපත් කළහොත් අදහස් පළ කිරීමට තමා සූදානම් බවත් බැඳුම්කර සිද්ධිය සිදුවන අවස්ථාවේ මහ බැංකුව තමා යටතේ නොතිබුණ බවත් මහ බැංකුව තිබුණේ කවුරුන් යටතේදැයි සියලු දෙනා දන්නා බවත් හිටපු මුදල් අමාත්‍ය, එජාප උප නායක රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
එජාප කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පසුගියදා විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ අගමැතිවරයාගේ යටතේද මහ බැංකුව නොතිබුණ බවත් මහ බැංකුව පාවෙමින් කටයුතු කරන ආයතනයක් බවට පත්වී තිබූ බවත්ය.
එම අවස්ථාවට සහභාගී වූ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ එජාපයේ අත්වල ලේ තැවරිලා නැති බවත් හොරකම, වංචාව සහ දූෂණය පිටු දකින බවත්ය.
බැඳුම්කර වංචාවක් සිදුවෙලා තියෙනවා කියලවත් අඩු තරමේ ඔබතුමා පිළිගන්නවද? යන්න කොළඹ වතු ආශ්‍රිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසූවේ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි නිර්දේශ අවිශ්වාස කිරීමට තමාට හේතුවක් නොමැති බවත්ය.
මේ රජය සමයේ හොර වැඩ කර ඇති අයට තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ජනපතිගේ විශේෂ ප්‍රකාශය
බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් මාධ්‍ය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා විශේෂ ප්‍රකාශයක් කළේය.
බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර, කොමිසන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතු යයි බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති ප්‍රකාශයේ ඇතුළත් විය.
"මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති තනතුරට පත් කරනු ලැබීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බව වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අග්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහතුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වෙනවා," ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
බැඳුම්කර වාර්තාවෙන් පසු එජාපයේ කඩා වැටීමක්
මේ අතර මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක් සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක් සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක් සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මෙම වාර්තාව පදනම් කරගෙන විවිධ විවේචන මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වන බවද තම පක්‍ෂය ඉලක්‌ක කර ඇතැම් පක්‍ෂ චෝදනා ඉදිරිපත් කරන බවද ඔවුන් විසින් පෙන්වාදී තිබේ.
මෙමගින් මැතිවරණ ව්‍යාපාරය තුළදී තම පක්‍ෂයට අගතියක් බවද ඔවුන් පෙන්වාදී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS