පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමා...
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාටසහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (25දා)නියම කළේය.
විත්තිකාර පාර්ශ්වයට ලබාදිය යුතු ලේඛන ආදිය පැමිණිල්ල විසින් ලබා දීමෙන් අනතුරුව විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා මෙලෙස දින නියම කළේය.
2014 ඔක්තෝබර් 31 වැනිදාත්, දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මෙලෙස චෝදනා ලබා සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වයට ලබාදිය යුතු ලේඛන ආදිය පැමිණිල්ල විසින් ලබාදී ඇති බව දැනුම් දීමෙන් අනතුරුව අදාළ ලේඛනවල අඩුපාඩුවක් ඇත්නම් ලබන මස 23 වැනිදාට පෙර ඒ පිළිබඳ අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ විනිසුරුවරයා, නඩුව ලබන මස 23 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අසාද් නවාවී මහතා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, ජයන්ත වීරසිංහ සහ ශ්‍රවින්ද්‍රප්‍රනාන්දු යන මහත්වරුන් සමග නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.
COMMENTS