ශන්මුගම් කුමරන් ධර්මලිංගම් හෙවත් ධර්මලිංගම් ශන්මුගම් කුමරන් හෙවත්, කුමරන් පද්මනාදන් හෙවත් කුට්ටි මාස්ටර් හෙවත්, කුට්ටිසිරි හෙවත්, තම්බයියා...
ශන්මුගම් කුමරන් ධර්මලිංගම් හෙවත් ධර්මලිංගම් ශන්මුගම් කුමරන් හෙවත්, කුමරන් පද්මනාදන් හෙවත් කුට්ටි මාස්ටර් හෙවත්, කුට්ටිසිරි හෙවත්, තම්බයියා සෙල්වරාජන් හෙවත් තුල්දි හෙවත් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නමැති අය ගැන මීට අවුරුදු අටකට එපිටදී මේ රටේ මිනිස්සු දැනගෙන සිටියේ නැත. කේ.පී. ගැන අපට කියා දුන්නේ මේ රටේ ආණ්ඩුය.
වේලුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි මස 18 වැනිදා මළේය. ඒ මරණයෙන් පසු කොටි සංවිධානයේ නායකයා කේ.පී. බව කීවේ ආණ්ඩුවය. අයි.ටී.එන්. එක ඒ කතාව ටක්කයටම කීවේය. හොයාගත් බුද්ධි තොරතුරු ප්‍රකාරව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නමැත්තා ප්‍රභාකරන් ඉන්න කාලයෙත් කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ නායකයා බව කීවේ ආණ්ඩුවය. මැලේසියාව, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව හා තායිලන්තය යන රටවල වැඩිපුර ගැවසුණු මේ තැනැත්තාට එරිත්‍රියාවේ ගමන් බලපත්‍රයක් හිමි බවත්, ඔහු ජාත්‍යන්තර පොලිසිය මඟහරිමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති බවත් කීවේ ආණ්ඩුවය. හිටපු ඉන්දීය ජනාධිපති ඝාතනය සම්බන්ධයෙන් කේ.පී. ඉන්දියාවට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවත් ලංකාව මෙන්ම ඉන්දියාවද ඔහු අත්අඩංගුවට ගන්නට ඉල්ලීම්කර ඇති බවත් කීවේ ආණ්ඩුවය.
කුමරන් පද්මනාදන් ජාත්‍යන්තරයේ සිට එල්. ටී. ටී. ඊ. ය මෙහෙයවන ත්‍රස්තවාදියා බව ආණ්ඩුවේ රූපවාහිනිය කැටදමා කීවේය. කෙහෙලිය රඹුක්වැල්ල රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාකරන් මරා මාස තුනක් යන්නටත් පෙර මේ ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගන්නට හැකිවීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය සහමුලින්ම අවසන් බව කීවේය. චැනල් 4 නාලිකාව ඇතුළු ජාත්‍යන්තර මාධ්‍යය හමුවේ කේ.පී. තමා එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර නායකයා යැයි කියමින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවල හඬ පට අයි.ටී.එන්. එකේ විකාශය විය.
එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමය. විදේශ ඇමතිවරයා ලෙස ඔහු ලෝකයට කීවේ කේ.පී. නමැති ත්‍රස්තවාදියා ප්‍රධාන පෙළේ කොටි නායකයෙක් බවය. ආරක්ෂක අංශවලට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් බවය. මුදල් හා ආයුධ සපයා දෙමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ශක්තිමත් කළ බවය. වැදගත්ම ප්‍රකාශය වූයේ කේ.පී. ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ රතු ලැයිස්තුවේ ඉන්නා බව රටේ විදේශ ඇමැතිවරයා විසින්ම රටට හෙළිදරව් කිරීමය.
අනතුරුව ජාත්‍යන්තර පොලිසිය හා සම්බන්ධ වී අතිවිශාල මුදලක් වියදම්කර දැවැන්ත බුද්ධි මෙහෙයුමකින් පසු ආණ්ඩුව කේ.පී. නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගත්තේය. අනතුරුව කොළඹට රැගෙන ආවේය. තේරුම්ගන්නට බැරි කාරණාව වූයේ අඹ ගෙඩියක් කැඩුවත් නඩු වැටී හිරේ විලංගුවේ ලගින්නට වන මිනිසුන් සහිත රටක තොරන් පෙන්නා අත්අඩංගුවට ගත් බව කී කේ.පී.ට නඩු නැති වීමය. ඒ නිසා කොටි සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු හා ජාත්‍යන්තර අංශයේ නායකයාව සිටි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණේය. ඒ පසුගිය 2015 ජනවාරි මස 19දාය. පෙත්සම ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්ය. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නීතිඥ සුනිල් වටගල මඟින්ය. පෙත්සම්කාර පාර්ශ්වය කේ.පී. ට එරෙහිව චෝදනා 193ක් ගොනු කර තිබුණේය.
පෙත්සමේ කියැවුණේ මෙවැනි කතාවක්ය. කේ.පී. සතුව නැව් හතක් තිබුණු බව එවකට පැවති ආණ්ඩුව කීවේය. විදෙස් වත්කම් පැවති බව කීවේය. රත්රන් ටොන් ගණනින් තිබුණු බව පැවසුවේය. විදෙස් ගිණුම් පැවති බව කීවේය. පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියේ පසුගිය ආණ්ඩු කාලය ඇතුළේ මේවාට සිදුවූයේ කුමක්දැයි හෙළි කරන ලෙසය. එමෙන්ම චෝදනා 193ක් ගොනු කරමින් කේ.පී. වහාම අත්අඩංගුවට ගැනීමට රිට් ආඥාවක් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසය. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ආගමන විගමන පාලක, යුද හමුදාපති, යුද හමුදාවේ උතුරේ ආඥාපති හා නීතිපති සහිතව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වගඋත්තරකරුවන් කර මේ පෙත්සම ගොනු කර තිබිණි.
රාජපක්ෂ ආණ්ඩුව වකවානුව
ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් කේ.පී. මෙරටට ගෙන්වීමෙන් පසු පසුවූයේ එවකට ආරක්ෂක ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේය. මේ අතර කේ.පී.ගේ බිරිය ද තායිලන්තයේ සිට ලංකාවට ගෙන්වා ගැනිණි. රාජපක්ෂ ආණ්ඩුව යටතේ කේ.පී. ට කිසිම අධිකරණමය ක්‍රියාවලියකට මුහුණ දීමට සිදුවූයේ නැත. එවකට ජනාධිපතිවරයා යාපනයේ සහභාගි වූ සෑම සංචාරයකදීම කේ.පී. ප්‍රධානියෙක් ලෙස සහභාගි විය. අත්අඩංගුවට ගත්තා යැයි කියනු ලබන සැකකරුවෙකුට එරෙහිව රට තුළ ක්‍රියාත්මක විය යුතු පොදු නීතිය කේ.පී. අරභයා ක්‍රියාත්මක නොවීය.
යහපාලන ආණ්ඩුවේ පොරොන්දුව
කේ.පී. ආණ්ඩු පෙරළන සංවාදයේ ප්‍රධාන මාතෘකාවක් විය. වර්ෂ 2015දී ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශයක් 2015 ජනවාරි මස 02දා කලම්බු පේජ් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.
වර්ෂ 2009 ජූලි 21 වැනිදා සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා ලෙස කුමරන් පද්මනාදන් පත් කරන බව එල්.ටී.ටී.ඊ. සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවත්, ඒ කුමරන් පද්මනාදන් අද ආරක්ෂා කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව බවත්, රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කුමරන් පද්මනාදන් කිලිනොච්චියේ ඡන්ද ව්‍යාපාරයක නිරතව ඇති බවත් චම්පික රණවක කියා තිබිණි.
“කේ.පී. අපරාධකාරයෙක්. ක්‍රමවත් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය නොකර කේ.පී. ට ජනාධිපති සමාවක් දිය නොහැකියි. කේ.පී. ට නිදහස දීම යුද්ධයේදී ජීවිත පූජා කළ යුද වීරයන්ට කරන අපරාධයක්.”
එසේ අවධාරණය කළ චම්පික රණවක තමන් බලයට පත්වූ පසු කේ.පී. ප්‍රමුඛ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන්ට එරෙහිව නෛතිකව ක්‍රියාකරන බව පොරොන්දු වුණේය.
ජනවාරි 8දා අලුත් ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණි. පාඨලී චම්පික රණවක කැබිනට් ඇමතිවරයෙක් වූයේය. ඔහු ඇමැති පදවිය සහිතව මල්වත්තේ හා අස්ගිරියේ නායක හාමුදුරුවරු හමුවූහ. අනතුරුව මාධ්‍ය අමතමින් මෙසේ කීය.
“කුමරන් පද්මනාදන් ඇතුළු සියලුම දූෂිත පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවනවා. කුමරන් පද්මනාදන් සහ ඔහුගේ කණ්ඩායම ටොන් 36ක පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ගෙනැවිත් දළදා මාලිගාවට පහරදුන්නා. පසුගිය රජයේ සුරතලුන් බවට පත් වුණු මේ අයව අධිකරණය හමුවට ගේන්න අපි ක්‍රියා කරනවා.”
මේ අතර කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ කේ.පී. මේ වනවිට හමුදාවේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින බවය.
එහිදී කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසන්නේ “යුද්ධෙ දිනපු සරත් ෆොන්සේකා හිරගෙදර ඉන්නකොට වැලිකඩ, කේ.පී. හිටියේ විසුම්පායේ.”
මාධ්‍යවේදීන් :- “කුමාරන් පද්මනාදන් දැන් කොහෙද ඉන්නේ?”
රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර :- “හමුදාවේ රක්ෂිත බන්ධනාගරයේ එතුමා ඉන්නේ”
මාධ්‍යවේදීන් :- ඔහුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි නේද? ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් :- “ඒ නිසානේ විසුම්පායේ සිට රක්ෂිතව හමුදා කඳවුරක තියාගෙන ඉන්නේ. ඒ වෙනස නිසා තමයි.”
කේ.පි. මේ වනවිට සිටින්නේ කොතනකදැයි යන්න එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පවා නොදන්නා බව මෙම ප්‍රකාශය අනුව පැහැදිලි වේ.
කේ.පී. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අග භාගයේ සිටම කටයුතු කරනු ලැබුවේ කිලිනොච්චියේය. ඔහු උතුරු නැගෙනහිර පුනරුත්තාපන සහ සංවර්ධන සංවිධානය නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවාගෙන ඇති අතර එහි ප්‍රධාන කාර්යාලය කිලිනොච්චි නගරයේ පිහිටුවා තිබේ.
එමෙන්ම ඔහු එයට අනුබද්ධ ළමා නිවාසයක්ද පවත්වාගෙන යන අතර එම ළමා නිවාසය දැක බලාගැනීම සඳහා විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අවස්ථා කිහිපයකදීම කේ.පී. සමග එහි සංචාරවල නියැලී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොනු කර තිබූ උක්ත පෙත්සම නිසා කේ.පීට රටින් පිටවීමට පනවා තිබූ තහනමද ඉවත් කළ අතර දැන් කේ.පීට ඕනෑම මොහොතක රටින් පිටවීමටද හැකිය.
කේ.පී. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ නම් ඔහුට එරෙහි නීතිමය ක්‍රියාවලියක්ද සිදු විය යුතුය. එහෙත් ජවිපෙ විසින් ගොනු කර තිබූ පෙත්සම ඇරෙන්නට වෙනත් කිසිදු අධිකරණමය කටයුත්තක් සිදු නොවන අතර එම පෙත්සම නිශ්ප්‍රභා වීමෙන් කේ.පීට එරෙහි වෙනත් කිසිදු අධිකරණමය ක්‍රියාවලියක් සිදු නොවේ.
නඩු නැති කේ.පී.ට එරෙහිව ඉහත කී පෙත්සම ගොනු වෙන්නේ ඒ අතරය. පෙත්සම දීර්ඝ කාලයක් විභාග වුණේය. නඩු විභාගය අතර නීතිපතිවරයා විසින් අධිකරණය ඉදිරියේ කැපීපෙනෙන ප්‍රකාශයක් කළේය. ඒ 2015 සැප්තැම්බර් මස 31 දාය. ඔහු කියා සිටියේ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පිළිබඳ අංශ කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකළ බවය. එහෙත් ඔහුට එරෙහිව නඩුවක් ගොනු කළ හැකි කිසිම වරදක් සොයාගත නොහැකි වූ බවය. මේ බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැන්නුවේය.
මේ අතර කුමරන් පද්මනාදන් විදෙස් වෙබ් අඩවියක් හා කළ සම්මුඛ සාකච්ඡාවකදී අමුතු කතාවක් කියා තිබිණි. “ප්‍රභාකරන් ඝාතනය කළාට පස්සේ මාව එල්.ටී.ටී.ඊ. නායකයා විදිහට හඳුන්වන්න ගත්තා. එහෙම කළේ මාධ්‍ය විසින්. මං කවදාවත් තුවක්කුවක් අතින් අල්ලලා නෑ. මම කාවවත් මරලත් නෑ. ඇත්තටම අතීතය ගැන මං කනගාටු වෙනවා. යුද්ධය හින්දා ගොඩක් අයට ජීවිත නැති වුණා. අනාගතය, අධ්‍යාපනය නැති වුණා. පවුල් නැති වුණා. සමීප හිතවතුන් නැතිවුණා. මවුපියන්, දරුවන් නැති වුණා. මමත් ඒකෙ කොටස්කරුවෙක්. ඊට ඒ ගැන වරදකාරී හැඟීමක් තියෙන්නෙ. මං මේ ළමයි එක්ක වැඩ කරලා ඒ හැඟීම අඩු කරගන්නවා.”
නඩු විභාගය පවත්වාගෙන ගියේය. නඩු විභාගයේ තීන්දුව පසුගිය 30දා ප්‍රකාශයට පත්කෙරිණි. විද්වත් විනිසුරු මඬුල්ලට තීන්දු කළේ මෙම පෙත්සම තුළ විභාගයක් පැවැත්වීමට තරම් සුදුසු නීතිමය පදනමක් නොමැති බවය. ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන එය නිෂ්ප්‍රභ කරන බවය.
කෙසේ වෙතත් මේ වනවිට රටට වැටහෙන විදිහට කේ.පී. පව්ය. අපේ විශ්වාසය නම් දැන් කේ.පී. විසින් කළ යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ රටටත් ආණ්ඩුවටත් ජාත්‍යන්තර පොලිසියටත් එරෙහිව නඩුවක් දැමීමය. මැලේසියාවේ නිදහසේ ජීවත්වූ නිර්දෝෂී මිනිසෙක් ජාත්‍යන්තර පොලිසිය සමඟ එක්වී රටට කුදලා ගෙන පැමිණීමේ අපරාධයම සුළු පටු එකක් නොවන බව රටේ මිනිසුන් දැන් වටහා ගනිමින් සිටින්නේය.
(මූලාශ්‍ර මව්බිම)
COMMENTS