"භගවත් ගීතාවේ සඳහන් ආකාරයට මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන්ද, මගේ මිත්‍රයන්ද, හිතවතුන්ද කවුරුන්ද දන්නේ නැහැ. එහෙත් ඕනෑම කෙනෙක් කැපී යයි ...
"භගවත් ගීතාවේ සඳහන් ආකාරයට මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන්ද, මගේ මිත්‍රයන්ද, හිතවතුන්ද කවුරුන්ද දන්නේ නැහැ. එහෙත් ඕනෑම කෙනෙක් කැපී යයි කියා තිබෙනවා. මට කියන්න තියෙන්නෙත් මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේද, මගේ ඥාතීන්ද කවුද කියන ප්‍රශ්නය නැහැ. පිරිසුදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා මගේ කඩුවට කවුරු කැපෙයිද කියන එක මා දන්නේ නැහැ. කැපෙන බව කියන්න පුළුවන් ඒ රටේ ජාතියේ අනාගතය උදෙසායි."
මේ සඳහන කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.
රටට ජනතාවට ආදරය කරන දූෂණයට වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන අවංක සෘජු දේශපාලන නවකයන් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශ්‍රීලනිපය අපේක්ෂා කරන බවත්, අවංක පිරිසුදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගනිමින් අනාගතයේදී යහපත් ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා වන ප්‍රවේශය මෙම මැතිවරණය තුළින් සනිටුහන් කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
කොට්ඨාස ඡන්ද ක්‍රමය ලබාගැනීම සඳහා ශ්‍රීලනිපයට ආණ්ඩුව තුළ මෙන්ම විපක්ෂය තුළත් විශාල සටනක් කරන්නට සිදුවූ බව සඳහන් කරන ජනාධිපතිවරයා ශ්‍රීලනිපය හැර අනෙක් සියලුම පක්ෂ දැරූ මතය පරාජය කොට කොට්ඨාස ක්‍රමය ඇති කිරීමේ සටන ජයගත් බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31 ක නායකයන්ගේ හා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28දා) පැවැති "නිදහසේ සම්මුතිය" ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
දේශපාලනය කරන සෑම කෙනකුටම තිබිය යුත්තේ රට ජාතියේ අනාගතය සඳහා වූ පොදු ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් පමණක් යැයිද එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.
නිදහස් සම්මුතිය පිළිබඳ ප්‍රතිඥාව එජනිස මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා එක්ව නිදහසේ සම්මුති ප්‍රතිඥාව දිවුරුම් දීම සිදු කළහ.
අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, අන්‍යාගමික පූජකවරුන් ද එජනිස මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිපයේ ජේයෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නායකයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS