. ඔවුන් සිටියා නම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා. ලංකාවේ දේශපාලනය අවුරුදු 2000ක් විතරම දුවන්නේ ලේ උඩ. ඒක තමයි සරල ඇත්ත. ඒ ලේ වලින් කරන...
. ඔවුන් සිටියා නම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා. ලංකාවේ දේශපාලනය අවුරුදු 2000ක් විතරම දුවන්නේ ලේ උඩ. ඒක තමයි සරල ඇත්ත. ඒ ලේ වලින් කරන්නේ සමාජයේ හොදම සාරය අවසන් කරන එක. ඊට පස්සෙ තවත් දශක කිහිපයක් රොඩු වලින් දුවනවා. තවත් දශකයකදී කැලේ තියෙන කෙලින් ගස් කපනවා.
ගස් කපන්න කොන්ත්‍රාත් එක ගන්නේ ජවිපෙ හෝ එවැනි විමුක්තිවාදී සංවිධානයක් යැයි කියාගන්න පිරිස්. ගස් කපන්න අවසරය දෙන්නේ දක්ෂිණාංශික වෙළදපල බලවේග. මේ දෙකම එකම වතාවක එකටම මේ දේ කරනවා. සංවිධානාත්මක විදියට මරණය සම්බන්ධයෙන් වන ජීවන දැක්ම ලංකාවේ වෙනස් වෙලත් ගොඩක් කල්. කෙනෙක් මිය යනවා කියන එක සුළු දෙයක් වුන රටක් ලංකාව. එය බුදු දහමින් හෝ එහෙව් සංස්කෘතියකින් හෝ සංවේදී කරන්න පුලුවන් කාරණයක් බවට පත් වෙලා නැහැ.
සමාජය තුළ පවුල හා පවුලේ දරුවන් පමණක් ඒ ඒ පවුල් වලින් ආරක්ෂා කරනවා. පක්ෂය විසින් මානුෂ කිසිවක් ආරක්ෂා නොකර ඔවුන් විරු සමරු තියෙනවා. ජීවත්ව සිටින විරුවන් විරුවන් ලෙස නොසලකන පක්ෂ මැරුණු අය පමණක් විරුවන් ලෙස සලකන්නේ ඇයි. ඔවුන් මානුෂිකත්වයට ඇති බිය කියලයි හදුන්වන්න පුලුවන්.
මළවුන් ඇදහීම හා සැලකීම වසර දහස් ගණනක් අතීතයට යන දෙයක්. එය පැරණි ගෝත්‍ර වල සිට වර්තමානය දක්වා වාමාංශික දක්ෂිණාංශික පක්ෂ බේදයකින් තොරව සිදු කරනවා. ලංකාවේ වැඩිම බුහුමනට පාත්‍ර වන දාගැබ් කියන්නෙත් මලවුන් සැමරීම සඳහා තියෙන ස්මාරක.
වාමාංශික පක්ෂ හා ලංකාවේ බුද්ධාගම කරමින් සිටින්නේ එකම දෙයක්. එනම් නැති වූ දෙය හොද බවත් ඉදිරි දෙය හොඳ බවත් කියමින් වර්තමානය ප්‍රතික්ෂේප කිරීම. අතීත අරගලය හොඳ වනවා හා සමානවම අතීත බුදුදහමද හොඳ වනවා. වර්තමානය දුකයි වගේම වර්තමානය දූෂිතයි. අනාගත සමාජවාදය හා නිර්වානය දෙකම හොඳයි. මෙහි දෙකොටසක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉන්නේ ප්‍රාථමික වැඩවසම් මතවාද තියෙන එක් කොටසක් විතරයි.
එහෙම කියපු ගමන් වර්තමානය පමණක් බාරගන්න ඉන්න පශ්චාත් නූතනවාදීන් හෝ ලිබරල් වෙළදපලවාදීන් හොඳයි කියන එක තමයි මේ කියන්නේ කියා දාගන්න අවශ්‍ය නැත. ඔවුන් අවස්ථාවාදී ලෙස ලෙවකමින් හා කටු කමින් සිටින බව පැහැදිලියි.
සජීවී මනුෂ්‍යත්වයට බියක් දක්වන්න හේතුව වන්නේ හීනමානික අදහස් දැරීමයි. අනෙකා හා තමන් ස්ථානගත වීමකදී තමන් පහත් මට්ටමක සිටින බවට වන හැඟීමයි. මෙම හැඟීම එන්නේ පශ්චාත් යටත්විජිතකරනයේ ප්‍රතිඵල විදියට. ලංකාවේ ජාතිවාදී,ආගම්වාදී, දක්ෂිණාංශික, වාමාංශික සියළු සංවිධාන මේ පශ්චාත් යටත්විජිතකරන ව්‍යාපෘතියේ කුඩා ප්‍රතිඵල. එම නිසා ඒ හැම සංවිධානයක්ම සමානයි.
කිසිදු විටෙක විකල්පයක් සෙවීමේ කාර්යය මේ කොටස් වලට කරන්න බැහැ. කරන්න පුලුවන් එකම දේ වන්නේ කෑම හා වැමෑරීම පමණයි. කන්නේ මොනවාද? ඔවුන් යුරෝපා හා ඉන්දියානු මතවාද භක්ෂණය කරලා ඒක වමාරනවා. බාගෙට පිළුණු වෙච්ච මේ මතවාදයන් වලට කිසිවක් කල නොහැකියි. භාෂාව මුලට දාගෙන, මනෝ විශ්ලේෂණය මුලට දාගෙන පටිච්ච සමුප්පාදය මුලට දාගෙන, සිංහල බව මුලට දාගෙන ලිබරල්වාදී බව මුලට දාගෙන මාක්ස්වාදය මුලට දාගෙන මේ සියළු දෙනා කරන්නේ ථෙරවාදී පිස්සුවක්. රාවණා, හෙල වීර කාව්‍යය ද මෙහිම එක් කොටසක්. මේ සියළු දෙනාත් අතීතවාදය අවුළුවනවා. ජවිපෙ හා පෙසපෙ අද කරන්නෙත් මේ අතීතවාදී හීනමානික කාරණයමයි.මේ කොටස් සියල්ලම එකයි.
මානව විද්‍යාත්මකව බැලුවොත් මලවුන් සිහි කිරීම අවශ්‍ය වන්නේ මලවුන් සතුව තිබූ යම් කිසි බලයක් හෝ දක්ෂතාවයක් යළි සිහි කිරීම සදහා විය හැකියි. එහි යම් තර්කයක් තිබෙනවා. නමුත් ජවිපෙ හෝ පෙසපෙ විසින් මේ සිහි කරන්නේ මලවුන් නොවන වර්තමානික මිනිසුන් බා ගැනීමේ ආ ...
මානව විද්‍යාත්මකව බැලුවොත් මලවුන් සිහි කිරීම අවශ්‍ය වන්නේ මලවුන් සතුව තිබූ යම් කිසි බලයක් හෝ දක්ෂතාවයක් යළි සිහි කිරීම සදහා විය හැකියි. එහි යම් තර්කයක් තිබෙනවා. නමුත් ජවිපෙ හෝ පෙසපෙ විසින් මේ සිහි කරන්නේ මලවුන් නොවන වර්තමානික මිනිසුන් බා ගැනීමේ ආකාරයයි. අතීත දිවි දුන් අය අනුගමනය කරනවා කියල කියන කිසි කෙනෙක් එසේ කරනවාද? කරන්න සූදානම් ද? දැන් තත්වය වෙනස් වෙලා ඉස්සර විදියට ඒ දේවල් කරන්න බෑ කියනවා නම්, ඇයි මලවුන් සිහි කරන්නේ. ඔවුන්ට අවඥා කරන්නේ යන ප්‍රශ්නය පැන නගිනවා. මෙය හුදෙක් ගේම් එකක් පමණක් බවට වන ඔප්පු කිරීමක් කරන්න පුලුවන්. නමුත් ඒ ඔප්පු කිරීම මේ ලියවිල්ල තුළම අවසන් වෙනවා. මොකද තාර්කිකත්වයක් ලාංකීය පොලවේ නොමැති වීම නිසා.
විශේෂයෙන් ඒක බුද්ධිමය වැහීමකට ලක් වෙලා තියෙන නිසා. තාර්කිකත්වය වෙනුවට ආගමිකත්වය භාවිතා කිරීම ලංකාවේ සමස්ත දේශපාලනික භාවිතය බවට පත් වෙලා. මෙම දේශපාලනික භාවිතයේ ස්වරූපය බුදුබණ සිට පශ්චාත් නූතන දැනුම දක්වා පොදු ඉරකින් එක පැත්තකට කරන්න පුලුවන්. නායකයින් පමණක් බුද්ධිය හා තර්කය මෙහෙයවන ආචාර්ය උපාධිලාභීන්, මහරහතුන්, ඇක්ටිවිස්ට්ලා, ලේඛකයෝ, නායකයින්ගෙන් කොළඹ පිරිලා. මේ සියළු දෙනා එක ගොඩක්. එනම් මෙහෙයවන්නන්ගේ ගොඩේ ඉන්නවා.
මෙහෙයවන්නන් එක ගොඩක ඉස්සරත් හිටියා. මෙහෙයවන්නන් ට පෙර අනුගාමිකයින විමුක්තිය ලබාගැනීම 1971/1989/2009 පෙන්වනවා. අලුත් අනුගාමිකයින් කඳුළු පෙරමින් සදා සොහායුරන් සමරනවා. මේ සැමරීම දේශපාලනික වෙන්නේ කොහොමද? එය හුදෙක් බුද්ධ පූජාව තැබීම සේම වැඩවසම්, පූර්ව නූතනයි, අධිපතිවාදීයි.
අවංකව මේ රටේ හෝ පුද්ගලිකව හෝ දැනුනු යම් වේදනාවක් පීඩාවක් නිසා ජීවිතය අහිමි කරගත් පිරිස රටට අවශ්‍යව සිටි පිරිසක්. ඒ පිරිස කුමන මතාවද දැරුවත් දරන මතවාදය වෙනුවෙන් අවංකව හිටියා. නමුත් ඔවුන්ගේ අයිතිකරුවන් ඔවුන් විකුණනවා. විකුණමින් යලිත් අවංකයින් දක්කනවා.
දැක්කීමට අසු නොවන අවංකයින් පුද්ගලිකව දේශපාලනය කරන්න ඕන කාලයක් පහු වෙමින් තියෙනවා. අනාගත විරුවනි. ස්වභාවික මරණයක් තෙක් අරගල කරන්න.. අරගලයක් වෙනුවෙන් පුද්ගලිකව ජීවත් වීමම අරගලයකි.
සරෝජ් හේමන්ත ද සිල්වා
COMMENTS