යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබ...
යහපාලන රජයත්, එය නියෝජනය කරන ඇමතිවරුන් වන අපත් බලයට පැමිණියේ මෙම සියලු දූෂිත ක්‍රියා පුළුල්ව විමර්ශනය කොට වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන පොරොන්දුව මතය.
මේ ක්‍රියාවලිය තුළ නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් මා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙන අතර, මේ මොහොත වන තුරුත් මම එය නොපිරිහෙළා ඉටු කරමි.
කුමන බාධක සහ අභියෝග පැමිණියත්, පොලිස් දෙපාර්තමේන්තුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානීන් සහ නිලධාරින් සමග, ඇමතිවරයා වන මමද එම කාර්යභාරයට උරදී සිටිමි.
රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මා හමුවූ බවට හැඟවෙන පරිදි ඇතැම් මාධ්‍යත්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිත් පුවත් පළ කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.
එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවකි. මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ඇති ගාමිණි සෙනරත් වැන්නෙකු හමුවීමටත්, එවැනි අයෙකු සමග ගනුදෙනු පැවැත්වීමටත් මා හට කිසිදු අවශ්‍යතාවක් නැති අතර එබඳු ගනුදෙනු වලින් මට ලබා ගැනීමට දෙයක්ද නැත.
එමනිසා මෙම අභූත චෝදනාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර මේ පිටුපස සිටින්නේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහිත ඉතා සුළු පිරිසක් පමණක් බව මගේ විශ්වාසයයි.
ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණක් බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
මාධ්‍ය ඒකකය
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය
COMMENTS