ආණ්ඩු පසින් ඒකීයත්වය තුළ කිසියම් බලය බෙදීමක් ගැන අදහස් පළ වුවද එහි යථා ස්වරූපය පිළිබඳ චිත‍්‍රයක් මහජනයා වෙත ලබා දීමට අසමත් වී ඇත. බෞද්ධ ...
ආණ්ඩු පසින් ඒකීයත්වය තුළ කිසියම් බලය බෙදීමක් ගැන අදහස් පළ වුවද එහි යථා ස්වරූපය පිළිබඳ චිත‍්‍රයක් මහජනයා වෙත ලබා දීමට අසමත් වී ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුලූ සිංහල බහුතරයක් දෙනා පළාත් සභා වලට එහා ගිය බලය බෙදීමකට දිහින් දිගටම විරුද්ධත්වය ප‍්‍රකාෂ කරමින් සිටිති. උතුරේ ඇතැම් ද්‍රවිඩ නායකයින් උතුර නැගෙනහිර ඒකාබද්ධ කල ෆෙඩරල් පාලනයක් පිළිබඳව අදහස හා ජන වර්ග අනුව බෙදීමක් ගැන සඳහන් කරති.
එමෙන්ම ඇතැම් සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දෙන්නේ බලය බෙදීමක් කල යුතුව ඇති බවයි. ඇතැම් වාමාංශික කණ්ඩායම් ප‍්‍රකාශ කලේ තමන් පිහිටුවන සමාජවාදී ආණ්ඩුවක් යටතේ ඉබේම විසඳුම් හා ස්වයං තීරණ අයිතිය ලැබෙන බවය. ඒ අතර මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටින බොහෝ දෙනාගේ අදහස වන්නේ ජනවර්ග අනුව බෙදීම හා පවතින ඒකක තුළම කිසියම් දේශපාලන බෙදීමක් ඇති කිරීම අනර්ථකාරී බවයි.
ඒ අන්දමට පොදුවේ ගත් කල බලය බෙදීමට එකඟ වන හා විරුද්ධ වන එකම කණ්ඩායමක් හෝ ගැඹුරු විමර්ශනයක් නොකර විවිධ රටවල් ඉදිරිපත් කල සංකල්ප හා යෝජනා නැවත උච්ඡාරණය කිරීමක් සිදු කරන බව හඳුනාගත හැකිය. ඒ හේතුවෙන් මෙම අර්බුදය විසඳුමකට වඩා තව දුරටත් සංකීර්ණත්වයට පත්වී ඇත්තේ ජාත්‍යන්තර මැදිහත්වීම් ද සමගිනි. අවසානයේ අවුරුදු අසූවකට ආසන්න කාලයක් තිස්සේ වටේ කැරකෙමින් ආපසු ආරම්භක තැනටම පැමිණ තිබේ.
එදා 1947 පැවති මැතිවරණයෙන් පසු ෆෙඩරල් පක්ෂයේ බිහිවීම හා වර්තමාන ෆෙඩරල් ඉල්ලීම් අතර වෙනසක් දැකිය නොහැකි වීමෙන් ඒ බව පැහැදිළි වේ. එකම වෙනස වන්නේ පුද්ගලරූප වෙනස් වීමත් ඒ වෙනුවෙන් බිලි දුන් ජීවිත හා ජාතික දේපළ වටිනාකම් අතර පරතරය පමණි.
එතැන් පටන් එනම් ෆෙඩරල් පක්ෂයේ ආරම්භයත් සමග පනහට පනහ ඉල්ලීම්, රාජ්‍ය භාෂාව සිංහල කිරීම, විවිධ භාෂා අණපනත්, අධ්‍යාපන ප‍්‍රමිතිකරණ වෙනස්කම්, රැවටීම්, පළිගැනීම් හරහා අවසානයේ ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු විය. නමුත් අර්බුදය තවමත් එතැනමය. බොහෝ සංසිද්ධීන් වරදවා වටහා ගැනීම් විය. උදාහරණ වාශයෙන් 1947 වතුකර ජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ අරමුණ වෙනකකි. නමුත් එය අර්ථ ගැන්වුනේ සුළු ජාතීන්ට වෙනස්කම් කිරීමක් වශයෙනි.
’56 රජ බස සිංහල කිරීමද එවැන්නකි. එක් පැත්තකින් සිංහල රජ බස කිරීමෙන් සිංහලයන්ට ද අත් වූ යහපත් ප‍්‍රතිඵලයක් නොවූ අතර සියලූ ජන කණ්ඩයම් වලට ඉංග‍්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනීමට තිබූ අවස්ථාව අහිමි විය. එදා එහි අරමුණ වූයේ ද්‍රවිඩ බස කතා කරන්නන්ට කල වෙනස්කමකට වඩා ඉංග‍්‍රිසීන් විසින් අත් කරගෙන තිබූ ඒකාධිකාරය හා ඊට ආවඩන බමුණු කුලයට එල්ල කල ජාතිවාදී නායකයෙකු ගේ ප‍්‍රහාරයකි.
මෙතෙක් පාලනය කල පාලන තන්ත‍්‍රයන් හි අරමුණ වෙනකකි. තමන්ට වෙනස්කම් කරන්නේ යයි ද්‍රවිඩ ජාතිකයන් සිතීම සාධාරණ වුවද මේ පාලකයන් මහජාතියේ පීඩිතයන්ට ද කරන වෙනස්කම් ඊට නොදෙවෙනිය. සිංහල ආණ්ඩු විසින් මහජාතියට පමණක් නොව රටට කල දෙයක් ද නැත. එදිනෙදා පැවැත්මට හා එදා වේල පිරිමසා ගැනීමට යම් යම් ඉදි කිරීම් සිදු කල ද මහජනයාට අත් වූ සෙතක් නැත. ’සිංහල ආණ්ඩු’ තම වර්ගයේ අයට ද සැලකූයේ තම තමන්ගෙ පක්ෂ වලට බැල මෙහෙවර කල අයටත් මුදල් හා ලිංගික අල්ලසටත් බව නොරහසක් ව තිබිය දී තව දුරටත් එයම සිදු කිරීම පිළිකුල් සහගතය. වර්තමාන ඊනියා ජාතික ආණ්ඩුව යටතේ ද එක් පාක්ෂික කණ්ඩායමකට පමණක් යම් යම් වරප‍්‍රසාද ලබා දෙන අතර අනෙකුත් පාක්ෂිකයන් මෙන්ම මුලූ රටම නොසලකා හරිමින් කටයුතු කර තිබේ. එසේ තිබියදී ද්‍රවිඩ ජාතිකයන් ට පමණක් වෙනස්කම් කලා යයි කීම අර්ධ සත්‍යයක් පමණි.
ජාතියක් වශයෙන් නොසලකා හැරීම භාෂාව හා අධ්‍යාපන ක්ෂේත‍්‍ර වල තවමත් සිදු වෙමින් පවතී. පසු කලෙක භාෂාව සම මට්ටමකට ගෙන ආවද එය පවා නිසි පරිදි සිදු කිරිමට අසමත් වීමෙන් පැහැදිළි වන්නේ කුමක් ද? රජයේ ලිපි ලේඛණ භාෂා දෙකෙන්ම භාවිතා කිරීමට ඇති බාධාව කුමක් ද? ඊට විරුද්ධ වන්නේ කවුරුන් ද? ඊට අමතරව රට පුරා ඇති සෑම රාජ්‍ය ආයතනයකම භාෂා පරිවර්තක කාර්යාලයයක් පවත්වාගෙන යාමට ඇති බාධාව කුමක්ද? ඒ ඔස්සේ යම් යම් රැකියා අවස්ථාවන් ද නිර්මාණය කරගත හැකිය. ඒ වෙනුවට ඔවුන් උනන්දු වන්නේ භාෂා නිපුණතා ඇති කිරීමටය. දීර්ගකාලීනව යම් ප‍්‍රතිඵලයක් ඉන් ඇති වනු හැකි වුවද එය වර්තමාන තත්වයට අවශ්‍ය ප‍්‍රායෝගික විසඳුමක් නොවේ.
නමුත් වඩා ප‍්‍රායෝගික ක‍්‍රියාවලියක් වන්නේ කර්මාන්තශාලා වැඩබිම් හා වෙළෙඳපළවල් ආශ‍්‍රිතව ස්වයංව එය සිදු වීමට අවශ්‍ය කරන වාතාවරණය ඇති කිරීමයි. එය සම්පූර්ණ වීමට නම් නිෂ්පාදන ක‍්‍රියාවලියක් භූමිය මත ක‍්‍රියාත්මක කල යුතුය, එය කවදා එළි දකී ද?
සියලූ ක්ෂේත‍්‍රයන් හි දීම අත්දකිමින් සිටින්නේ පාලකයන් ගේ අසමත් භාවයයි. ඉතිහසයේ හා වර්තමානයේ ද පැහැදිළි වන්නේ අප මුහුණ පා සිටින අර්බුදයේ සැබෑ මුහුණුවර දැකීමට දක්වන මැලිකම හා මජර ප‍්‍රතිපත්තියයි. ඊට බලපෑ ඓතිහාසික සාධක බැහැර කර මේ ගමන යා නොහැකිය. අර්බුදය තේරුම් ගැනීම හා ඊට පිළියම් සෙවීමේ දී එම ඓතිහාසික සාධක වැදගත් වේ.
මෑත කාලීන පාලකයන් රාජ්‍ය පාලනයේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් නොකියන ඓතිහාසිකව උරුම කරගත් රාජ්‍ය තාන්ත‍්‍රික දුගී භාවය නිසා වැදගත් පෞරුෂයක් උරුම කර ගත්තෝ වෙති. එබැවින් සැම අර්බුදයක දී ම විජාතික බව හා විජාතික යෝජනාවන්ට යටත් වීමට සිදු වී ඇත. එය සැම ක්ෂේත‍්‍රයකම කැපී පෙනෙන ලක්ෂණයකි. එම ඓතිහාසික සංසිද්ධිය තව දුරටත් පැහැදිළි කරතොත් වැඩවසම් රාජ්‍ය බිඳ වැටී යටත්විජිත පාලනයෙන් පසු පාලන බලය හිමි වූයේ රාජ්‍ය බලයකට උරුමකම් කීමට කිසිඳු සුදුසුකමක් නැති පිරිස් වලටය. මූලික සුදුසුකම වූයේ ඔවුන්ට ගැතිකම් කිරීමය. 1815 පසු එම පරම්පරාවල් පෙරට පැමිණියහ.
වැඩවසම් රාජ්‍ය අඛණ්ඩව පැවතියේ නම් ඒ සඳහා සුදුසුකම් ලබන්නෝ වෙනත් පිරිසක් වන අතර යටත්විජිත පාලනයෙන් පසු එතැනට පත් වූ පිරිස අහලකටවත් නොගැනෙනු ඇත. හඳුන්වා දුන් සර්වජන ඡන්ද බලය සමග පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රය තුළ රජ්‍ය පාලනයට සෑම පුරවැසියෙක්ටම අවස්ථාව හිමි වුවුද ගැති චින්තනය හා විඥානය ඉවත් කල නොහැකිය. යටත්විජිත පාලකයන් ඇති කල වැවිලි ආර්ථිකය පිරිහී යන විට ඊට සමාන්තර වෙනත් ආර්ථිකයකට හෝ යාමට අසමත් වීමෙන් පහැදිළි වන්නේ එක්තරා නපුංසක තත්වයකි.
එබැවින් එවැනි මූලයන් සහිත පිරිසකගෙන් රටට ගැළපෙන ආණ්ඩු ක‍්‍රමය හෝ ගැළපෙන අර්ථක‍්‍රමය හෝ යුක්ති සහගත බලය බෙදීමක් ගැන බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසාම දැනට ඉතිරි වී ඇත්තේ සැම දෙනාම වහරමින් සිටින දේශපාලන විසඳුමක් සහිත බලය නෙදීමකි. එහි හැඩරුව, ගුණ සුවඳ, පිළිබඳව කිසිඳු අවබෝධයක් අදහසක් වෙත් නම් එය මේ වන විට ජනතාවගේ මනස තුළ පැළපදියම් කිරීමට සමත් වී සිටිය යුතුය. එහෙත් එකම විසඳුම බලය බෙදීම යයි උජාරුවෙන් ප‍්‍රකාෂ කරමින් තවත් උගුලකට ජනතාව හසු කිරීමට මාන් බලමින් සිටින සැටියක් පෙනේ. එමෙන්ම මීට බලපාන පවතින අතාර්කික පරිපාලන ඒකක, භූගෝලීය , පරිසර සාධක හා අපගේ විසඳුම් යෝජනා තවත් ලිපියකින් ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කෙරේ.
මතු සම්බන්ධයි.
සුනන්ද රත්නායක
COMMENTS