16%ක් මෙතරම් ප්‍රශ්නයක් වුණේ කෙසේද ? ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී ප්‍රතික්ෂේප කෙරුණේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් තෙල් ...
16%ක් මෙතරම් ප්‍රශ්නයක් වුණේ කෙසේද ?
ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී ප්‍රතික්ෂේප කෙරුණේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් තෙල් නැවකි. ඒ, මීට දින 16කටත් පෙරය. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ තෙල් සැපයුමෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් වන්නේ 16%ක් පමණි. ඉතිරි 84%ක ප්‍රතිශතය අයිති වන්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය. එසේ නම් 16%ක ප්‍රතිශතයක් පමණක් අයිති සමාගමේ එක් තෙල් නැවක් ප්‍රතික්ෂේප වීමෙන් පමණක් රටට ම බලපාන තෙල් අර්බුදයක් නිර්මාණය වුණේ කෙසේද ?
දේශප්‍රේමී අර්ජුන සහ විමල් සහයට ඩැනී
ප්‍රමිතියෙන් තොර තෙල් තොගය ගොඩබෑමට අවසර දෙන ලෙස තමන්ට දේශපාලකයින්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් බලපෑම් එල්ල වුණු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. දී කිරට බළල්ලුත් සාක්කි කීවා සේ ඔහුගේ සහයට පැමිණියේ හිටපු අමාත්‍ය විමල් වීරවංශය. ඔහුත් ප්‍රකාශ කළේ අර්ජුනට බලපෑම් එල්ල වී ඇති බවය. බලපෑම් වලට යට නොවූ අර්ජුන රණතුංග දැන් රට හමුවේ නියම ඉන්දියන් විරෝධී දේශප්‍රේමියෙකි. එහෙත් රටේ ජනතාවට තමන්ගේ යතුරුපැදියට පෙට්‍රල් ගසාගන්නට ක්‍රමයක් නොමැත.
සාමාන්‍යයෙන් තෙල් නැවක් ප්‍රමිතියෙන් අඩුයැයි ප්‍රතික්ෂේප කෙරුණු විට STS ( Ship to ship) නම් පිරිපහදු ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. එහිදී කෙරෙන්නේ ප්‍රමිතියෙන් අඩුයැයි ප්‍රකාශිත තෙල් නැව ආසන්නයට තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් සහිත නැවක් පැමිණ එම නැවේ සිට තෙල් පිරිපහදු කර නැවත තෙල් සාම්පලයක් පරීක්ෂා කර බැලීමය. එහෙත් මේ අවස්ථාවේදී එවන් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අවසර ලබා දී නැත.
සියල්ල මැද කොමිස් කුට්ටි
මේ සියල්ල අර්බුදයක් වන තෙක් ඔඩු දුවන්නේ ක්ෂණික මිලදී ගැනීම් කිරීමට ඇති කෑදර කම නිසාය. පසුගිය ඉරිදා ඉංග්‍රිසි පුවත්පත්වල දැක්වුණේ ඛනිජ තෙල් අමාත්‍යාංශය මේ මොහොතේ ක්ෂණික මිලදී ගැනීම් ( Spot tenders ) වලට යොමුවන බවය. ක්ෂණික මිලදී ගැනීම් වලදී වෙනදා ක්‍රියාත්මක වන ටෙන්ඩර් ක්‍රමවේදයට පිටින් සාමාන්‍ය මිලට වැඩියෙන් හදිසි අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්ධන මිලදී ගැනේ. ඇමරිකන් ඩොලර් මිලියන ගණනින් කොමිස් කුට්ටි හුවමාරු වීමද මෙවන් හදිසි මිලදී ගැනීම් වල ලක්ෂණයකි. රටේ මතුවී ඇති දැඩි අවශ්‍යතාවය නිසා මෙවන් ගනුදෙනු ගැන වැඩිදුර හාරා ඇවිස්සීමට ද කාලයක් නොමැති වෙයි. එහෙයින් ඉහළ බලධාරීන් කිහිපදෙනෙකුට මින් විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාව ලැබේ. වර්ෂාපතනය අඩු කාලසීමා වලදී විදුලිබල මණ්ඩලයේද මෙම හදිසි මිලදී ගැනීම් මාෆියාව ක්‍රියාත්මක වෙයි.
හදිසියේ ගමනක් යන්නට මගට බහින පුද්ගලයකුට ඉන්ධන පිරවුම්හලක් ළඟ පැය ගණනක් රස්තියාදු වන්නට සිදුවීම ගැටළුවකි. එසේ දිනගණනක් එක දිගට රස්තියාදු වන්නට සිදුවන්නේ නම් එය අර්බුදයකි. සමහරුන් මේ හරහා ආණ්ඩු පෙරළන්නට කල්පනා කරනවා ඇත. තවත් සමහරුන් කල්පනා කරන්නේ මේ හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම විහිළුවට ලක් කිරීමටය. තවත් කෙනෙකුට මෙය දේශප්‍රේමියෙකු වීමේ අවස්ථාවකි. කෙසේවෙතත් නාස්ති වන්නේ රටේ සංවර්ධනයට වැය විය යුතු කාලයය. ප්‍රශ්නයට මැදිවන්නේ සාමාන්‍ය ජනතාවය. ඒ අතරේ කිහිප දෙනෙක් ඩොලර් මිලියන කිහිපයක් සාක්ක්කුවේ දාගන්නා මගඩියක් ගැන කල්පනා කරති. රටක හැටි එහෙමය.
COMMENTS