අම්බලන්ගොඩ, බටපොළ, ඊරියගහදොළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.15ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්...
අම්බලන්ගොඩ, බටපොළ, ඊරියගහදොළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.15ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසිනි. වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා, දරුවන් තිදෙනා සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අසාධ්‍ය තත්වයේ පසු වූ අනෙත් තිදෙනා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබේ.
පෙරකී පවුලේ මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිසකර කිරීම සඳහා පැමිණි කාර්මික ශිල්පියා යළි අම්බලන්ගොඩ ප්‍රදේශයට ඇරලවීමට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීමට හේතුව පාතාල කල්ලි දෙකක් අතර ගැටුමකැයි සැක කරන පොලීසිය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි වාර්තා වේ.
පසුගිය ඉරිදා අළුයම කොස්ගොඩදී සිදු වූ වෙඩි තැබීම සහ මෙම වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන කෙරෙන බව පොලීසිය පවසයි. කොස්ගොඩ වෙඩි තැබීමෙන් පාසැල් සිසුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
- රංජිත් නිශාන්ත
COMMENTS