Citigroup, Twitter, Apple, News Corp., New York's Plaza Hotel ඇතුළු ලෝ ප්‍රකට සමාගම් ගණනාවක කොටස් අයිතිය අල්වාලීඩ් කුමරු හට හිමි ය. ...
Citigroup, Twitter, Apple, News Corp., New York's Plaza Hotel ඇතුළු ලෝ ප්‍රකට සමාගම් ගණනාවක කොටස් අයිතිය අල්වාලීඩ් කුමරු හට හිමි ය. මෙම සමාගම් අයත් සමූහ ව්‍යාපාරය වන කිංඩම් හෝල්ඩින්ස් හි 95% ක හිමිකාරිත්වය තිබෙන්නේ මෙම කුමරු හට ය. ඉතිරි 5% ක හිමිකාරිත්වය පමණක් සෞදි කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබේ. එසේ තිබියදීත් කුමරු අත්අඩංගුවට ගත් ප්‍රවෘත්තිය සමග කොටස් මිල 9.9%කින් පහත වැටුණේය. කිංඩම් හෝල්ඩින්ස් ව්‍යාපාරයේ සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් බව සැලකේ.
ලන්ඩනයේ සැවෝයි හෝටලයේ හිමිකරු වන්නේ ද අල්වාලීඩ් කුමරු ය. බ්‍රිතාන්‍යයේ ‘ද සන්’, ‘ඩේලි මේල්’ ඇතුළු පුවත්පත් ගණනාවක් හිමි රූපට් මර්ඩොක්ගේ මාධ්‍ය රාජධානිය සඳහා ද ඔහු විශාල මුදලක් ආයෝජනය කර තිබේ. මේ අතරවාරයේම, කාන්තාරයේ පිහිටි නිවාඩු නිකේතන රාශියක් ද ඔහුට හිමි ය. ඒවායෙන් සමහරක කුරුමිටි මිනිසුන් විනෝදය සපයන්නන් ලෙස යොදවන බවට ඔහුට විශාල චෝදනාවක් ද නැගී තිබේ. කෙසේ නමුත් සෞදියේ සිටින වැඩිම බලයක් සහිත ආයෝජකයෙකු ලෙස ඔහු මේ තාක් කල් අවිවාදයෙන් සැලකුණි.
අල්වාලීඩ් කුමරු රජයේ කිසිදු නිලයක් හොබවන්නේ නැති නමුත් ඔහු සෞදි අරාබියේ නිර්මාතෘ අබ්දුල් අසීස් අල් සවුද්ගේ මුණුබුරා ය. ෆෝබ්ස් සඟරාවට අනුව කුමරුගේ පුද්ගලික වත්කම පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ය. කුමරු වරක් ෆෝබ්ස් සඟරාවට එරෙහිව අපහාස නඩු දැමුවේය. ඒ, 2013 වසරේදී තමන්ගේ වත්කම ඩොලර් බිලියන 20 ක් යැයි අඩු තක්සේරු කළ බව කියමිනි!
2015 වසරේදී කුමරු ජාත්‍යන්තර පුවත් ශීර්ෂ පාඨ මැව්වේ ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වන ලෙස විවෘත ව පැවසීම නිසා ය. මුස්ලිම් ජාතිකයන්ට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කිරීමට කටයුතු කිරීම ‘නින්දාවක්’ බව ඔහු නොබියව පැවසුවේය. මෙයට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් කියා තිබුණේ කුමරු ‘අමනයෙක්’ බවයි. සෞදිය තුළ කුමරුගේ ජනප්‍රියත්වය ඉහළ යාමට බලපෑ වැදගත් හේතුවක් වූයේ ඔහුගේ ලිබරල් මතවාදයන් ය. සෞදි කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඔහු, සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට මුල් වී කටයුතු කළේය. අවසානයේ රාජකීය ආඥාවක් මගින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ පටන් එම තහනම ඉවත් කරන ලදී. සෞදිය පැටලුණු යේමන යුද්ධයේ දී ද අල්වාලීඩ් කුමරු කැපී පෙනෙන වැඩ කොටසක් කළේය. මෙයට දෙවසරකට පෙර යේමනයේ සිටින ප්‍රහාරක ගුවන් යානා නියමුවන්ගේ පුද්ගලික පාවිච්චිය සඳහා ඔහු සුපිරි මෝටර් රථ ප්‍රදානය කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලකයෙක් නොව ව්‍යාපාරිකයෙක් ලෙස පමණක් සිටි අවධියේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ව තිබූ හෝටලයක් සහ යොට් යාත්‍රාවක් මිලදී ගැනීමට ද අල්වාලීඩ් කුමරු උත්සුක විය.
සෞදියේ දූෂණ විරෝධී කමිටුවේ දැලි පිහියට හිර වූ තවත් ප්‍රමුඛ පෙළේ පුද්ගලයෝ රැසකි. ඒ අය අතර අමාත්‍යවරු තිදෙනෙක් වෙති. හිටපු අමාත්‍යවරුන් විසි ගණනක් වෙති. නිල නොවන වාර්තාවලට අනුව හිටපු, වත්මන් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙක් ද මෙම දූෂණ විරෝධී කමිටුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර සීඑන්එන් පුවත්සේවය එම ලැයිස්තුවේ සිටින 17 දෙනෙකුගේ නම් අනාවරණය කර ගැනීමට සමත් විය. අල්වාලීඩ් බින් තලාල් කුමරු, රාජකීය අධිකරණයේ හිටපු ප්‍රධානී ඛලීඩ් අල්-තුවයිජ්රි, සෞදියේ මාධ්‍ය කුවේරයෙකු සේ සැලකෙන වාලීඩ් අල්-ඊබ්‍රාහිම් සහ ටර්කි බින් නසීර් කුමරු ද මේ අතර සිටිති. මෙම අත්අඩංගුවට ගැනීම්වලට සමගාමී ව සෞදි රාජ්‍යයේ ආර්ථිකය භාර ඇමති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනෙක් ද ධුරවලින් පහ කර තිබේ. ජාතික ආරක්ෂාව, ආර්ථිකය හා සැලසුම් යන එකී අමාත්‍ය ධුර ඒ වහාම පිරවීම ද සල්මාන් රජු විසින් සිදුකර තිබේ.
ඔවුන් සැබවින්ම දූෂණවල යෙදුණාද? නැතිනම් මේ සිදුවුණේ දේශපාලන දඩයමක්ද?
සෞදි අරාබියේ දූෂණ විරෝධී කමිටුවට මුල පුරනු ලැබුවේ සෞදි රජු වන සල්මන් බින් අබ්දුල්අසීස් අල්-සවුද් විසිනි. කමිටුවේ ප්‍රධානියා වන්නේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු ය. 32 හැවිරිදි මෙම කඩවසම් කුමාරයා සෞදියේ අනාගතය නියමුවා වශයෙන් සැලකෙයි.
ඔහු ප්‍රධානත්වය දරන මෙම කමිටුව ලංකාවේ කෝප් කමිටුව හෝ අල්ලස් කොමිසම මෙන් නොවේ. වෙනත් වචනවලින් ඉතා සරලව කියන්නේ නම් මෙම කමිටුව, ලංකාවේ තිබෙන ෆයිල් ගොඩගසා ගන්නා කොමිෂන් සභාවලට වඩා හාත්පසින්ම වෙනස් ය. තවද ඉතා වැදගත් සටහන්, කෝප් කමිටු වාර්තාවේ මෙන් මේ කමිටුවේ පාද සටහන්වලට පමණක් සීමා නොවේ. දූෂණ ක්‍රියා විමර්ශනයට, වරදකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට, වත්කම් මුද්‍රා තැබීමට මෙන්ම ගමන් තහනම් පැනවීමට ද එයට බලය තිබේ. මෙම පුළුල් බලතල සමූහය අතින් එය සමාන වන්නේ 70 දශකයේ අග භාගයේ හොංකොං හි පිහිටවූ දූෂණ විරෝධී කොමිෂන් සභාවට ය.
මේ අතර ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු වසර 2030 ඉලක්ක කරගෙන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් රට තුළ ගෙන යයි. එහි නම Vision 2030 ය. එහි ප්‍රධානතම ඉලක්කයක් වන්නේ ඉදිරි දශකය තුළ රට ඛණිජ තෙල් සම්පත මත යැපීම අවම කර ගැනීමයි. එම ඉලක්කය වෙත යාම සඳහා ඔවුන් පිළිපදින එක් ප්‍රධානතම මාර්ගෝපදේශනයක් වන්නේ දූෂණය අවම කිරීමයි. ඛණිජ තෙල් මිල පහත වැටීම තම ආර්ථිකයේ ‘ගේම් චේන්ජර්’ එක වූ බව ඔවුහු කියති. දැන් සෞදිය කියන්නේ තම ආර්ථිකය විවිධාංගිකරණය කළ යුතු බවයි. මහජන මුදල් අවභාවිතා කරන්නන් නීතියේ රාමුව තුළ රැඳවිය යුතුම බව ඔවුහු අවධාරණය කරති.
දැනටමත් ලෝකයේ විස්කම් පුරයක් සේ සැලකෙන සෞදිය, සිය අනාගත සැලසුම් වෙනුවෙන් වැඩ කරන පරිමාණය පිහිටා තිබෙන්නේ ඔබට-මට සිතාගන්නට හැකි සීමාවෙන් බොහෝ ඔබ්බෙනි. උදාහරණයක් වශයෙන් ලංකාව 2015 ජනවාරි 8 වැනිදා පටන් මෙගාපොලිස් ගැන කයිය ගසමින් සිටින නමුත් තවම එක් මෙගා පොලිසියකවත් සැලසුමවත් ඇඳ ගැනීමට අපට හැකි වී නැත. මේ අතරවාරයේ සෞදිය ‘මෙගාම මෙගා’ සිටි ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. ඇමරිකානු ඩොලර් බිලියන 500 ක ආයෝජනයක් හරහා ලෝකයේ රටවල් 3 ක් හරහා දිවෙන මෙය රතු මුහුද අසබඩ වර්ග සැතපුම් දස දහසක වපසරියකින් ඉදිවීමට නියමිතය. තවද එය සම්පූර්ණයෙන්ම සෞදියේ ආණ්ඩු රාමුවෙන් පිටත තිබෙන වෙනම පුංචි රටක් ලෙස මෙහෙයවීමට ද නියමිත ය. මෙය නම් කර තිබෙන්නේ නියෝම් ව්‍යාපෘතිය යනුවෙනි. මේ විසල් පුරය සම්පූර්ණයෙන්ම බලගැන්වෙනු ඇත්තේ පුනර්ජන්‍ය බලශක්තියෙනි. රියැදුරු රහිත වාහන සහ මගීන් ගෙන යන දේරා්ණ යානා එහි සුලබ දසුනක් වනු ඇත. මේ නගරයේ සියලුම සේවාවන් සහ ක්‍රියාදාමයන් 100%ක්ම ස්වයංක්‍රීයව සිදුකෙරෙනු ඇත. එය ලෝකයේ ‘කාර්යක්ෂම ම නවාතැන’ වනු ඇත. සෞදියේ ඔටුන්න හිමි කඩවසම් කුමාරයා මේ ව්‍යාපෘතිය ගැන කියා තිබෙන්නේ “අප වැඩ කරන්නට කැමති සිහින දකින්නන් සමග පමණයි” යනුවෙනි.
සෞදි අරාබිය මේ පසු කරමින් සිටින්නේ සංක්‍රාන්ති සමයකි. වෙනසක් අවශ්‍ය බව ඔවුහු අවධාරණ කරති. එහිදී දූෂිතයන් හඳුනාගැනීම මෙන්ම ඔවුන් ඉවත් කිරීම ද අවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති. නමුත් මේ වෙනස සැබවින්ම සෞදි ජනයා අපේක්ෂා කළ දෙයක් නොවේ. එනිසාම එය ඔවුන්ට හදිසි කම්පනයක් බඳු ය. ලෝකයේ වැඩියෙන්ම තෙල් නිෂ්පාදනය කරන සහ ඉස්ලාමයේ ශුද්ධවූ ස්ථාන වැඩිපුරම පිහිටා තිබෙන රට, මෙම දූෂණ විරෝධී රැල්ලත් සමග සලිත වී ගොස් ඇත.
ඔටුන්න හිමි 32 හැවිරිදි කුමාරයා මේ කරන්නේ සෙල්ලමක්ද? විචාරකයන්ට අනුව ඔහු මේ කරන්නේ සෞදිය මුල සිට අගටම තම අණසක යටතට ගැනීමයි. දශක ගණනක් ‘නාකි මිනිසුන්’ විසින් පාලනය කරන ලද මේ රට, ‘මොඩනයිස් කිරීමට’ තමන්ට අවශ්‍ය බව කඩවසම් කුමාරයා කියා තිබේ. ඉස්ලාමය මොඩරේට් කරන බවට ද ඔහු පිළිණ දී තිබේ. කෙසේ නමුත් අවසානයේ රජ බවට පත්වීමෙන් පසු අවම වශයෙන් අවුරුදු 50 ක්වත් සෞදියේ ජනතාවට ජීවත් වන්නට සිදුවන්නේ මේ සල්මාන් ‘රජු’ යටතේ ය. සෞදිය තවමත් රජුන් තනන දේශයකි. අද ඔවුහු ජනතා අයිතිවාසිකම් ගැන කතා කරති. නමුත් කිරුළ අත්හරින්නට සිහිනෙන්වත් නොපතති. ‘රජුන් කිරුළු පළඳින රටවල පුරවැසියන් කිසිදා රජ නොවෙන බව‘ අපි අත්දැකීමෙන් දනිමු.
බලය ඇත්තේ කොහිද එතැන උන්මත්තක කමක් ද වේ. දූෂණ විරෝධී රැල්ලක මුවාවෙන් සෞදිය මේ කරන්නේ විසම්මුතිය මැඬලීමද? අපි බලා සිටිමු.
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS