කෙසේ වෙතත්, 2017 ජනවාරි වන විට, ලොව පුරා රටවල් 10 ක් ම පාලනය වන්නේ ස්ත්‍රී නායිකාවන් අතින් වන අතර, ප්‍රාදේශීය පරිපාලනයේ සුවිශේෂී ස්ත්...
කෙසේ වෙතත්, 2017 ජනවාරි වන විට, ලොව පුරා රටවල් 10 ක් ම පාලනය වන්නේ ස්ත්‍රී නායිකාවන් අතින් වන අතර, ප්‍රාදේශීය පරිපාලනයේ සුවිශේෂී ස්ත්‍රී දායකත්වයක් පෙන්නුම් කරන ඉන්දියාවේ පන්චායත් සභා වල සෑම ආසන 3 කට ම 1 ක් හොබවන්නේ ස්ත්‍රියක විසිනි.
යටත් විජිත යුගයේ දී ම, එනම් 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ, ස්ත්‍රීන් ද ඇතුලත් වන පරිදි, සර්වජන ඡන්ද බලය ලැබූ රටක් වන ශ්‍රී ලංකාවේ, දේශපාලන නියෝජනයේ ස්ත්‍රී දායකත්වය යුග ගණනක් තිස්සේ ම පවතින්නේ, ඉතා ම පහත් මට්ටමක ය. ඉන් ලොව පළමු අගමැතිනිය සහ විධායක ජනාධිපතිවරියක් පත් වීම, දේශපාලනයෙහි පවුල් බලපෑමෙහි ප්‍රතිඵලයක්, එසේ ත් නැත්නම් එක්තරා අහඹුවක් පමණක් වූ අතර, එය හුදෙක් ශ්‍රී ලංකවේ ස්ත්‍රියට දේශපාලන නායකත්වයට තිබෙන ‘අවස්ථාව‘ පිළිබඳ නිර්ණායක නොවේ.
ශ්‍රී ලංකාව, දේශපාලනයෙහි ස්ත්‍රී නියෝජනය ඉල්ලමින් කරන ලද කේවල්කිරීම් වල ඉතිහාසය ඉතා දිගු වන අතර, වත්මන් යහපාලන ආණ්ඩුවේ යෝජනා ලෙස, ඊයේ පෙරේදා හදිසියේ සම්මත කරගත් පලාත් සභා සහ පලාත් පාලන ආයතන සංශෝධන පනත් වලින්, පලාත් සභා වලට සහ පලාත් පාලන ආයතන වලට අදාළ 25% කෝටාවක් ලැබුණේ විනා, පෙර කියන ලද ඓතිහාසික කේවල් කිරීම පැවති කාලාන්තරය තුළ ජයග්‍රාහී යැයි කිව හැකි සන්ධිස්ථාන එකක් වත් පසු කළේ නැත.
විශේෂයෙන් ම, පලාත් සභා සංශෝධන පනත සම්මත කළා ට පසු දින, එනම් 2017 සැප්තැම්බර් 21 වැනිදා, අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මෙහෙයුම් කමිටුවේ අතුරු ව්‍යවස්ථාවෙන්. දේශපාලන ආයතන වල ස්ත්‍රී නියෝජනය ව්‍යවස්ථාවෙන් සහතික කළ යුතු බව අවධාරණය කර තිබෙනු දක්නා ලදී.
කෙසේ වෙතත්, පෙර කී පනත් දෙක මඟින් සහතික කළ 25% ස්ත්‍රී නියෝජනය සම්බන්ධ තත්වයෙහි වුව ද යම් යම් අඩුපාඩුකම් තිබෙන අතර, ඒ පිළිබඳ තබන මෙම සටහන වැදගත් වනු ඇත්තේ, ‘පලාත්පාලන ආයතන සහ පලාත් සභා සඳහා ලැබෙන්නට නියමිත ස්ත්‍රී නියෝජනය සම්බන්ධයෙන් මතු විය හැකි ව්‍යුහාත්මක ගැටලු සහ සංස්කෘතියේ ගැටලු කිහිපයක් පිළිබද පුරෝකථනයක්‘ ලෙස ය.
පලාත් සභා සංශෝධන පනතෙහි 58 වගන්ති සංශෝධනයෙහි ප්‍රතිවිරෝධතා
1988 අංක 2 දරණ පලාත් සභා ඡන්ද විමසීම් පනතට සංශෝධනයක් ලෙස ගෙනන එනු ලැබ තිබෙන, 2017 අංක 17 දරණ පලාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනතෙහි ප්‍රතිපාදන මත (58 වැනි වගන්ති සංශෝධන ලෙස) පළාත් සභා වල ස්ත්‍රී නියෝජනය 25% සහතික කරනු ලැබ තිබුණත්, එම වගන්තිය අවසානයේ එන ‘එසේම තවදුරටත්, මේ පනත ප‍්‍රකාර සංස්ථාපනය කරන ලද පළාත් සභාවක්, මේ උපවගන්තියේ විධිවිධාන සමග අනුකූල වීමට නොහැකි වීම නිසා පමණක් ම, නීත්‍යනුකූල නොවන බවට සලකනු නොලැබිය යුතු ය...‘ යන පාඨය මඟින්, පෙර සඳහන් කළ ‘ස්ත්‍රී නියෝජනය 25% ක් විය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා විසින් වගබලා ගත යුතු ය...‘ යන ඇණවීම, අනියමින් උල්ලංඝනය කර තිබේ.
පලාත් පාලන සංශෝධන පනතෙහි ස්ත්‍රී නියෝජනය පිළිබඳ ‘කතාව‘
තීරණාත්මක ලෙස අවසන් කොට නැති වීම
පලාත් පාලන මව් පනතෙහි 27 ඊ (1) වගන්තිය සංශෝධනය මඟින්, ලැබෙන 25% ක ස්ත්‍රී නියෝජනය, තව දුරටත්, 27 (2) වගන්තිය මඟින්, දක්වන පරිදි මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගැසට් කිරීමට නියමිත, පළාත් පාලන ආයතන වලට අදාළ ආසන සංයුතිය පිළිබඳ නිවේදනය මත රඳා පවතී. එහිදී, කොමසාරිස් - ගැසට් නිවේදනයක් මඟින්, ඒ ඒ පලාත් පාලන ආයතන වලට අදාළ වන ‘ස්ත්‍රී ආසන සංඛ්‍යාව‘ නිරවුල් ව දැක්වීම ‘පූර්ව අවශ්‍යතාවක්‘ කොට තිබේ.
ඒ අනුව, දැනට පළාත් පාලන (සංශෝධන) පනත යටතේ ලැබී ඇතැ‘යි කියන, ‘ස්ත්‍රී ආසන කෝටාව‘ මුළුමනින් ම අවසන් කළ ජයග්‍රහණයක් (තීරණාත්මක අවසානයක්) ලෙස ගත නොහැකි ය.
මැතිවරණ කොමිසමේ සභාපති ද වන වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා, ස්ත්‍රී නියෝජනය සම්බන්ධ කාරණයේ දී ප්‍රගතිශීලී ආස්ථානයක පසු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකි වූ බැවින්, මෙහි දී කොමසාරිස්වරයාගේ ආසන සංයුති ගැසට් නිවේදනය මඟින්, ‘ස්ත්‍රී කෝටාව‘ ට අදාළ ‘ආසන සංඛ්‍යාව වෙන් කිරීම‘ අරබයා, නිර්ලෝභීව කරනු ඇතැයි විශ්වාස කළ හැකි ය. නමුත් සැබැවින් ම තවමත් එකී ක්‍රියාවලිය පවතින්නේ, විවෘත අවසානයක් ලෙස බව මතක තබා ගැනීම වැදගත් ය.
පළාත් සභා කෝටාවේ ප්‍රතිවිරෝධතාවෙහි ‘හැඟවුම‘
ඉහත පළාත් සභා (සංශෝධන) පනතෙහි 25% ස්ත්‍රී නියෝජනය සම්බන්ධ ප්‍රතිවිරෝධතාව, ‘දීම සහ නොදීම අතර පාවෙන තත්වයක්‘ බවට පත් කර තිබීම ත්, ඊට සාපේක්ෂව, පළාත් පාලන ආයතන වෙත ‘දීම - යම්තාක් දුරටකට පිරිසිදු දීමක්‘ වීම ත්, ‘දෙනන්නන් වාලේ දීමක්‘ හැටියට තේරුම් ගත හැකි ය.
මක් නිසාද යත්, පළාත් සභාව, එහි ව්‍යුහයෙන් ම, ඊට පැවරී ඇති බලයේ ස්වභාවයෙන් ම, ‘පළාත් පාලන ආයතන වලට වඩා බලවත් ආයතනයක් බව‘ අමුතුවෙන් කිව යුතු නැත. එමෙන් ම පවත්නා දේශපාලන සංස්කෘතිය අනුව ත්, එය ‘ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත අරන් යන රාජකීය මාවතේ නැවතුම් අම්බලම ‘ ද වෙයි. එම නිසා පලාත් සභාව, පලාත් පාලන ආයතන මෙන්, ගම මූලික වූවක් නොව, ‘රාජකීය මාවතේ‘ පිහිටියා වූ ආයතනයක් වන බැවින්, ඊට ඇති ඉල්ලුම ද වැඩි ය. ඒ අනුව, මෙම පනතේ හිදැස, මෙතුවක් කාලෙකට ස්ත්‍රීන් ට ඇහිරුණු මාවතක් වූ ‘රාජකීය මාවතේ ආයතනයේ‘ පිරිමින්ගේ වූ ආසන, ස්ත්‍රීන්ගේ වීම හැකිතාක් පාලනය කර තබා ගැනීම ද...?
ඉදිරියේ දී, පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය වීමක් වුවහොත් එහි දී ද, ‘ස්ත්‍රී නියෝජනයට කෝටාවක් ලැබුණොත්, එහි අනිවාර්යය භාවය සහතික වීම හෝ නොවීම මත, මෙම උපකල්පනය ‘හොඳින් ම සුද්ද කර ගත‘ හැක.
කෙසේ වෙතත් මෙම උපකල්පනයට පක්ෂව, ඉදිරිපත් කළ හැකි ‘අවසාන විග්‍රහය‘ වූ කලී, ලැබී තිබෙන කෝටාව තුළින්, ස්ත්‍රීන් ට දේශපාලන නියෝජනය දුන්නත්, ‘බරපතල තීන්දු තීරණ කෙරෙහි වඩාත් බලපෑම් සහගත වන්නට ඇයට ඇති සියලු බාධක ඉවත් කර නොමැති බව‘ යි.
පත් කරන ලැයිස්තු වලින් පරාජිතයින් ගොඩ යන සංස්කෘතියේ බලපෑම
මෙය ඉකුත් 2015 මහ මැතිවරණයේ දී ද, දක්නට ලැබුණු, ශ්‍රී ලංකාවේ දේශපාලන / මැතිවරණ සංස්කෘතියෙහි සුලබ ලක්ෂණයක් බව සියල්ලෝම දන්නා දෙයකි. 2015 මහ මැතිවරණයට සාපෙක්ෂව බලන කළ, එ.ජා.ප, එ.ජ.නි.ස., ජ.වි.පෙ. යන පක්ෂ තුනෙන් ම පරාජය වූවන් ඒ ඒ පක්ෂ වල ‘ජාතික ලැයිස්තු‘ව හරහා පාර්ලිමේන්තුවට තේරී පත් විය.
නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ ද, අදාළ ‘මැතිවරණ සංශෝධන පනත්‘ හරහා ‘පත් කරන ලැයිස්තු‘ වෙනස් කළ නොහැකි හෝ පරාජිතයින් ට අවස්ථාව ලබා නොදෙන ක්‍රමයක් ‘සහතික‘ කර නොමැති තත්වයක් යටතේ, විශේෂයෙන් ම පළාත් සභා වල ට ඉදිරියේ දී පත් වන්නට නියමිත 25% ක් වූ ස්ත්‍රීන්, ‘සිය පක්ෂ අභිමතය‘ ඉදිරියේ ‘ආසන අහිමි කරගන්නට නියමිත‘ පිරිසක් ද විය හැකි ය.
25% කෝටාව ට - ලිංගිකව ස්ත්‍රීන් වීම පමණක් ප්‍රමාණවත් ද...?
- සංස්කෘතියේ තව ගැටලුවක්
ලේසි උත්තරයක් නැති ප්‍රශ්නයකි. ස්ත්‍රීන් ට දේශපාලන නියෝජනය ඉල්ලා සිටීමෙන් බලාපොරොත්තු වන දෙය, දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී, ඇය සක්‍රීයව දායක කරගැනීම ය. එසේ නොමැතිව, ‘ජෙන්ඩර් බැලන්ස් කිරීමට‘ ස්ත්‍රී ශරීර වලින් ආසන බර කිරීම නොවේ.
එහෙත්, අවුරුදු අසූ ගාණක් තිස්සේ ම, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය තුළ සහ දේශපාලන සංස්කෘතිය තුළ, සක්‍රීය දායකත්වයෙහි යෙදීම අධෛර්යයට පත් කර තිබුණු පසුබිමක, ‘රැයක් එළි වන විට අහසින් කඩා වැටුණු කෝටාවකට‘ අනුව අදාල ආයතන වෙත පත් කර යැවීමට තරම් ‘සක්‍රීය ස්ත්‍රීන්‘ නොඑසේනම්, ‘පුහුණු හෝ ශක්‍යතාව ඇති ස්ත්‍රීන්‘ පක්ෂ වලට සම්බන්ධව සිටිනවා ද යන්න ගැටලුවකි.
මේ නිසා ම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්, සිය පත් කරන ලැයිස්තු වලට, ‘ලිංගයෙන් ස්ත්‍රී වීම මත පමණක්‘ ස්ත්‍රීන් තෝරාගැනීමේ ක්‍රමවේදයකට තල්ලු වී යා හැකි අතර, පළාත් පාලන මැතිවරණයේ දී තරඟයට ඉදිරිපත් කරන 10% සහ පළාත් සභා මැතිවරණයේ දී තරඟයට ඉදිරිපත් කරන 1/6 තුළ පමණක්, දේශපාලන සවිඥානික බවක් ඇති, පුහුණු හෝ ශක්‍යතා සහිත, සක්‍රීය දායක ස්ත්‍රීන් තෝරා ගැනීමට ඇති ඉඩකඩ වැඩි ය.
එහෙත්, පක්ෂ සහ කණ්ඩායම්, සිය කොට්ඨාස ලැයිස්තු වලින් ද, රූපයෙන් ලස්සන, කතාවෙන් අද්දන, නිළියක් ව ප්‍රසිද්ධ ස්ත්‍රීන් ව ඉදිරියට ගන්නට පියවර ගතහොත්, ස්ත්‍රියට ලැබුණු කෝටාව ‘මහා උත්ප්‍රාසයක්‘ පමණක් ම වනු ඇත.
අනෙක් අතට, ‘ස්ත්‍රියක වීම‘ නිසා ‘ඇතුලට රිංගාගැනීමට වරම ලැබෙන‘ දියණිවරුන්, බල ලෝභී පියවරුන් වෙනුවෙන් ඉල්ලා අස් වී, සිය අසුන ‘පියවරුන්ට පවරන‘ ක්‍රමයක් වුව ද ඇතිවන්නට පුළුවන.
අපි බලමු...! බලාගෙන ඉමු...!
- සුරේඛා සමරසේන
COMMENTS