ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් පාකිස්තානය සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් පාකිස්තානය සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එම තරගාවලියට සහභාගී නොවී එක්දින තරගාවලිය අවසානයේ යළිත් ලංකාවට පැමිණීමට ඔහු තීරණයකර ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම තොරතුරු මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කර නොමැත.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු වන නික් ලී සහ භෞතචිකිත්සක නිර්මලාන් ධනබාලසිංහම් ද පාකිස්තානයට එරෙහිව විස්සයි - 20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් නොවන බවද පැවසේ.
උපුල් තරංග, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන සහ අකිල ධනංජය යන ක්‍රීඩකයන් ද ලාහෝර් සංචාරය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අතරින් කපුගෙදර සහ සුරංග ලක්මාල් 2009 වසරේ ලාහෝරයේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන විට ශ්‍රී ලංකා කණ්ඩායම් බස් රථයේ ගමන් කළ අයවෙති.
හෂාන්ට විරෝධය
පිතිකරණ පුහුණුකරු සහ හිටපු නායකයෙකු වන හෂාන් තිලකරත්න ලාහොර් සංචාරයේදී ශ්‍රී ලංකා පිළේ පුහුණුකරු ලෙස යෙදවීමේ උත්සාහයක් ඇති බව වාර්තා වන අතර කෙසේවුවද එයට ක්‍රීඩකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැති බවද වාර්තා වේ.
ක්‍රීඩකයන්ගේ වැඩි මනාපය රුමේෂ් රත්නායකට බවද මේ අතර වාර්තා වේ.
ආරක්ෂක හේතූන් මත අවසන් තරගය වෙනත් රටක පවත්වන්නැයි ක්‍රීඩකයන්ගෙන් ලද ඉල්ලීම් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශකර තිබුනේ පුහුණුකරු නික් පොතාස්, කළමණාකරු අසංක ගුරුසිංහ, පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න සහ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක ද ලාහෝර් නුවර බලා පිටත්ව යන බවයි.
විස්සයි - 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුනු අතර එහි නායකත්වය පවරා ඇත්තේ තිසර පෙරේරාටය.
එම සංචිතයට ටෙස්ට් තරගාවලියට සහ එක්දින තරගාවලියට එක් නොවු ක්‍රීඩකයන් 11 දෙනෙකු නම්කර තිබීම ද විශේෂත්වයක්.
දිල්ෂාන් මුණවීර / ධනුෂ්ක ගුණතිලක / සධීර සමරවික්‍රම / අශාන් ප්‍රියන්ජන් / මහේල උඩවත්ත / දසුන් ශානක / මිනෝද් භානුක / සචිත් පතිරණ / විකුම් සංජය / ලහිරු ගමගේ / සීක්කුගේ ප්‍රසන්න / විශ්ව ප්‍රනාන්දු / ඉසුරු උදාන / ජෙෆ්රි වැන්ඩසේ සහ චතුරංග ද සිල්වා පකිස්ථානයට එරෙහි 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්.
මහේල උඩවත්ත වසර 8 කින් පසු ශ්‍රී ලංකා සංචිතයට නම් කර ඇති අතර මිනෝද් භානුක ශ්‍රී ලංකා සංචිතයට නම් කෙරුනේ පළමු වතාව මෙයවේ.
මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය ලැබී තිබේ.
COMMENTS