කැටලෝනියානු අර්බුදය එක් පසෙකින් උත්සන්න වෙද්දී, යුරෝපයේ බොහෝ රටවල් මේ වන විට බෙදුම්වාදී පිළිවෙතකට අනුගත වෙමින් ජාතිකත්වය සහ ස්වයං පාලනය ඉ...
කැටලෝනියානු අර්බුදය එක් පසෙකින් උත්සන්න වෙද්දී, යුරෝපයේ බොහෝ රටවල් මේ වන විට බෙදුම්වාදී පිළිවෙතකට අනුගත වෙමින් ජාතිකත්වය සහ ස්වයං පාලනය ඉදිරියට දමාගෙන කැඩී බිඳී වෙන්වී යන්නට උත්සාහ කරන බව පෙනේ. පහත දැක්වෙන්නේ මේ වන විට එසේ යුරෝපය පුරා පැතිරී තිබෙන බෙදුම්වාදී ව්‍යාපාර පිළිබඳ විස්තරයකි.
නැගෙනහිර යුරෝපය
ඉස්ට්‍රියා කන්ට්‍රි | ක්‍රොයේෂියාව
ජනගහනය: 208000, සමස්ත ජනගහනයෙන් 4.9%
ක්‍රොයේෂියාවේ ප්‍රජාතාන්ත්‍රික සභා පක්ෂය විසින් ස්වයං නිර්ණ බලතල විශාල වශයෙන් ඉල්ලා සිටිමින් ක්‍රොයේෂියාව පුරා ප්‍රචාරක ව්‍යාපාර දියත් කර ඇත. ක්‍රොයේෂියාව සහ ස්ලෝවේනියාව 1991 වසරේ යුගෝස්ලෝවියාවෙන් බෙදී වෙන් වීමෙන් අනතුරුව ඉස්ට්‍රියා කන්ට්‍රි ප්‍රදේශය පවතින්නේ මෙම රටවල් දෙකටම හරිමැද වූ භූගෝල පිහිටීමක ය. තවද මෙම රටවල් දෙක අතර දේශසීමා ද පැහැදිලි නැත. ප්‍රජාතාන්ත්‍රික සභා පක්ෂයේ ඉල්ලීම අන්තර් රාජ්‍ය සහ අන්තර් දේශසීමා යුරෝපා කලාපයකි.
මොරාවියාව | චෙක් ජනරජය
ජනගහනය: මිලියන 3, සමස්ත ජනගහනයෙන් 30%
සිලේසියාව සහ බොහීමියාව මෙන්ම මොරාවියාව ද ඉතිහාසය පුරාම පැවතියේ චෙක් ජනරජයේ කොටසක් ලෙස ය. 1949 වසරේ බෙදී යාමෙන් අනතුරුව යම් අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට මෙම කලාපය සමත් විය. පාර්ලිමේන්තු කණ්ඩායමක් ද නොවන මොරාවිනේ නමැති පක්ෂය මොරාවියාවට ස්වයං පාලනය ඉල්ලා සිටින ප්‍රධාන බලවේගය බවට පත්ව ඇති අතර 2005 වසරේ පටන් වෙනම රාජ්‍යයක් ලෙස පෙනී සිටීමට කැමැත්ත පළ කර ඇත.
චෙක් සිලේසියාව | චෙක් ජනරජය
ජනගහනය: මිලියන 1, සමස්ත ජනගහනයෙන් 10%
උතුරු සිලේසියාව | පෝලන්තය
ජනගහනය: මිලියන 3, සමස්ත ජනගහනයෙන් 7.8%
ප්‍රධාන වශයෙන් නිරිත දිග පෝලන්තයට ද කුඩා කොටසක් ජර්මනියට සහ චෙක් ජනරජයට ද අයත් කලාපයකි. 2011 වසරේ පැවති ජන සංගනනයේදී උතුරු සිලේසියාවේ ජනගහනයෙන් අට ලක්ෂයකට වඩා වැඩි පිරිසක් කියා තිබෙන්නේ තමන් පෝලන්ත ජාතිකයන් බවයි. සිලේසියානු ස්වයං නිර්ණ ව්‍යාපාරය නමැති දේශපාලන සංවිධානය විසින් පෝලන්තයෙන් උතුරු සිලේසියාවේ ස්වයං නිර්ණ බලතල ඉල්ලා සිටින අතර, එහි නායක ජර්සි ග්‍රොසෙලික් 2010 ප්‍රාදේශීය මැතිවරණයේදී 8.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය ලබන්නට ද සමත් විය. මෙම දේශපාලන ව්‍යාපාරය විසින් සිලේසියාව හඳුන්වා දෙන්නේ වෙනම රටක් ලෙස මිස පෝලන්තයේ, ජර්මනියේ හෝ චෙක් ජනරජයේ කොටසක් ලෙස නොවේ.
සේකිලි | රොමේනියාව
ජනගහනය: 5000000, සමස්ත ජනගහනයෙන් 2.5%
සේකිලි භූමිය පිහිටා තිබෙන්නේ මධ්‍යම රොමේනියාවේ ය. එහි වෙසෙන වාර්ගික හංගේරියානුවෝ දිගින් දිගටම ස්වයං පාලනය ඉල්ලා සිටිති. 2011 වසරේ පැවති ජනසංගනනය අනුව රොමේනියාවේ වෙසෙන වාර්ගික හංගේරියානුවන්ගෙන් මිලියන 1.2 ක් ම ජීවත් වන්නේ සේකිලි ප්‍රදේශයේ ය. පළමු ලෝක යුද්ධයේදී සිය රටේ භූමියෙන් තුනෙන් දෙකක් අසල්වැසියන්ට ලබාදීමට සිදුවීමෙන් අනතුරුව රොමේනියාවේ ජීවත් වන විශාලතම වාර්ගික සුළුතරය වශයෙන් සැලකෙන්නේ මෙම වාර්ගික හංගේරියානුවන් ය.
උතුරුදිග යුරෝපය
බෝන්හෝම් දූපත | ඩෙන්මාකය
ජනගහනය: 39664, සමස්ත ජනගහනයෙන් 0.7%
බෝල්ටික් සාගරයේ පිහිටා තිබෙන කුඩා දූපතක් වන බෝන්හෝම්, 1990 දශකයේ පටන් ස්වයං පාලනයක් සහිත පාර්ලිමේන්තුවක් ඉල්ලා සිටිමින් සිය සටන ගෙන යයි. නමුත් ස්කොට්ලන්ත හා කැටලෝනියානු ජනමත විචාරණවලින් පසුව පවා බෝන්හෝම් හි බෙදුම්වාදී ව්‍යාපාරය වෙත පවතින ජනප්‍රියත්වය කෙමෙන් අඩු වෙමින් පවතියි.
ෆාරෝ දූපත් | ඩෙන්මාකය
ජනගහනය: 50030, සමස්ත ජනගහනයෙන් 0.9%
1946 වසරේ පැවති මැතිවරණයෙන් සුළු ජයක් ලබාගැනීමෙන් අනතුරුව 1948 වසරේ පටන් ෆාරෝ දූපත් ඩෙන්මාර්ක රාජධානිය තුළ පවතින ස්වයං පාලන බලය සහිත ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් විය. සංස්කෘතික සහ භාෂාමය වෙනස්කම් මෙන්ම ඩෙන්මාර්කයෙන් සැතපුම් 560 ක් දුරින් පිහිටා තිබීම නිසා ද මෙය බොහෝ විට දිස්වන්නේ වෙනම රටක් ලෙස ය. කෙසේ නමුත් නීතියෙන් රාජ්‍යත්වය පිළිගැනීමේ සටනට බැස තිබෙන ෆාරෝ දූපත් මේ වන විට ඩෙන්මාර්කයෙන් පූර්ණ ස්වෛරීත්වය ඉල්ලා සිටියි.
දකුණුදිග යුරෝපය
ලොම්බාඩි | ඉතාලිය
ජනගහනය: මිලියන 10, සමස්ත ජනගහනයෙන් 17%
ඉතාලියේ ධනවත්ම කලාපයන්ගෙන් එකකි. මිලාන් නගරය පිහිටා තිබෙන්නේ ද ලොම්බාඩි ප්‍රදේශයේ ය. රෝම පාලනයෙන් මිදීමට මෙන්ම ආර්ථික ස්වාධීනත්වය ද ඔවුහු ස්වයංපාලනය තුළින් බලාපොරොත්තු වෙති. ලොම්බාඩි ඡන්ද දායකයන්ගෙන් පැන නගින විවේචනය වන්නේ තමන් ගෙවන බදු මුදල් ප්‍රාදේශීය ආයෝජන සඳහා නොව ඉතාලියේ දුප්පත් දකුණුකරය වෙත යොදවන බවයි. මේ තත්වය මෑතකදී පැවති ජනමත විචාරණයකදී ද 40% ක් වශයෙන් තහවුරු කෙරිණි. කෙසේ නමුත් ඉතාලිය තුළ ලොම්බාඩියේ අපේක්ෂිත බෙදී වෙන්වී යාම පිළිබඳ පවතින්නේ අප්‍රසාදයකි.
වෙනෙටෝ | ඉතාලිය
ජනගහනය: මිලියන 4.9, සමස්ත ජනගහනයෙන් 8%
වෙනෙටෝ කලාපයේ අගනුවර සුප්‍රසිද්ධ වැනීසියයි. මෙම කලාපය ඉතාලියේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන්නකි. වෙනෙටෝව ඉතාලියේ රෝම ආණ්ඩුවෙන් විශාල ස්වයං පාලනයක් බලාපොරොත්තු වෙයි. තමන්ගේම බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට ඔවුන්ට උවමනා ය. නමුත් ලොම්බාඩියේ මෙන්ම මෙහිද බොහෝ වැසියන්ට ඉතාලියෙන් බෙදී වෙන් වී යාමට විශාල උවමනාවක් නැත.
සිසිලි දූපත් | ඉතාලිය
ජනගහනය: මිලියන 5, සමස්ත ජනගහනයෙන් 8.25%
සුවිශේෂී ප්‍රාදේශීය උරුමයන්, සම්ප්‍රදායන්, සංස්කෘතියක් සහ භාෂා වෙනස්කමක් පෙන්නුම් කරන සිසිලි දූපත් තුළ ස්වයං පාලනය සඳහා කණ්ඩායම් කිහිපයක්ම පෙරමුණ ගෙන තිබේ. ඉතාලියෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමට ඔවුන්ට උවමනා ය. 2008 වසරේ සිට 2012 වසර දක්වා සිසිලි දූපත් පාලනය කළේ ද ස්වයංපාලන දේශපාලන පක්ෂයක් විසිනි.
දකුණුදිග ටිරෝලය | ඉතාලිය
ජනගහනය: 511000, සමස්ත ජනගහනයෙන් 0.9%
මූලික වශයෙන් ජර්මන් බස කතා කරන දකුණු දිග ටිරෝලය ඉතාලි පරිපාලනය යටතට පැමිණියේ පළමු ලෝක යුද්ධයේ අවසාන භාගයේ දී ය. 70 දශකයේදී ඉතාලියෙන් කැපී පෙනෙන ස්වයං නිර්ණ බලතල සමුදායක් දිනාගැනීමට මෙය සමත් විය. නමුත් 50 සහ 60 දශකවල ඉස්මතු වූ විමුක්තිකාමී සංවිධාන විසින් සිදුකළ බෝම්බ ප්‍රහාර ආදියෙන් ද මෙහි ඉතිහාසය සමන්විත ය. මෙම විමුක්තිකාමීහු දකුණුදිග ටිරෝලය නැවත ඔස්ට්‍රියාව සමග ඒකාබද්ධ කිරීමේ මෙහෙයුමක නිරත වී සිටිති. ඒ සඳහා අන්තර්වාර නිදහස් දකුණු ටිරෝල් රාජ්‍යයක් පිහිටුවා ගන්නට ඔවුන්ට උවමනා ය. මෙම තීරණයට දකුණුදිග ටිරෝල වැසියන්ගෙන් හරි අඩක්ම සහාය පළ කරන බව මෑතකදී සොයාගැනිණි.
බාස්ක් කන්ට්‍රි |ස්පාඤ්ඤය
ජනගහනය: මිලියන 3, සමස්ත ජනගහනයෙන් 4.6%
බාස් ගරිල්ලන්ගේ නිජබිම වන බාස්ක් කන්ට්‍රි ප්‍රදේශය, 19 වන සියවසේ පටන් ස්වාධීනත්වය දිනාගැනීමේ අරගලයක නිරත වී සිටියි. බාස් බෙදුම්වාදී ව්‍යාපාරයේ එක් අරමුණක් වන්නේ ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ ජීවත් වන ජර්මානු බස කතා කරන සියලුම ජනයා එක්සත් කිරීමයි. මෑතකාලීන වර්ෂවල මෙම ව්‍යාපාරයේ ලේ වැකුණු ස්වභාවය මදෙකින් අඩු වී ඇත. මේ අතර මෙම ප්‍රදේශය මුල්කරගෙන ක්‍රියාත්මක වූ තවත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායමක් වන ඊටා, 2011 වසරේදී අඩ සියවසක් පුරා පැවති ප්‍රචණ්ඩත්වය අවසන් කරන බව නිවේදනය කළේය. දැනටමත් සැලකිය යුතු ස්වයං නිර්ණ බලතල සමුදායක් භුක්තිවිඳින බාස් කලාපයෙන් ලැබෙන කිසිදු බෙදුම්වාදී ඉල්ලීමක් සලකා නොබලන බව ස්පාඤ්ඤ පාලකයන් කියා තිබේ.
කැටලෝනියාව | ස්පාඤ්ඤය
ජනගහනය: මිලියන 7.5, සමස්ත ජනගහනයෙන් 16%
ෆ්‍රැන්කෝ ගේ ඒකාධිපති පාලන සමයෙන් පසු හටගත් දරුණුතම දේශපාලන අර්බුදයට මේ වන විට මුහුණ දී සිටියි. රටේ ධනවත්ම සහ සුන්දරම පළාතක් වන කැටලෝනියාව, පසුගිය ඔක්තෝබර් 1 වැනිදා පැවති ජනමත විචාරණයෙන් පසු තනිවම ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළේය. එදිනම ස්පාඤ්ඤය සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බලතල ප්‍රකාරව කැටලෝනියානු පළාත් රජය විසුරුවා හැරීමට කටයුතු කර දෙසැම්බර් 21 වැනිදාට මැතිවරණයක් කැඳවීම තුළින් මේ වන විට උද්ගතව ඇත්තේ බරපතළ දේශපාලන අර්බුදයකි.
කෝසිකාව | ප්‍රංශය
ජනගහනය: 329599, සමස්ත ජනගහනයෙන් 0.49%
කෝසිකානු ජාතිකවාදී ව්‍යාපාරය 60 දශකයේ පටන්ම ප්‍රංශයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ අරගලය ගෙන යමින් සිටියි. කෝසිකාවේ ජාතික විමුක්ති පෙරමුණ 1976 වසරේ පටන් ස්වාධීනත්වය ඉල්ලා සිටින්නේ බොම්බ ප්‍රහාර, මිනිස් ඝාතන ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සමුදායක් සමගිනි. එම ව්‍යාපාරයේ නායකයා 1998 වසරේ මරා දැමූ අතර ඔවුන් පසුගියදා ප්‍රකාශ කළේ සන්නද්ධ පිළිවෙතින් බැහැර වන බවයි.
බටහිර යුරෝපය
ෆ්ලැන්ඩර්ස් | බෙල්ජියම
ජනගහනය: මිලියන 6.4, සමස්ත ජනගහනයෙන් 56.3%
ප්‍රධාන වශයෙන් ලන්දේසි බස (ඕලන්ද බස) කතාකරන මෙම කලාපය උතුරුදිග බෙල්ජියමේ වඩාත්ම සෞභාග්‍යමත් පෙදෙස ලෙස හැඳින්වෙයි. එහි ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය නව ෆ්ලෙමිෂ් සන්ධානයයි. බෙල්ජියමේ ජාතික රජය සමග ද සන්ධානගත වී සිටින ඔවුන් 2019 මහ මැතිවරණයේදී විධිමත් ලෙස වෙන් වී යාමට අපේක්ෂා කරයි. මේ අනුව බෙල්ජියම දෙකට බෙදෙන වර්ෂය වශයෙන් ද 2019 වසර බොහෝ දෙනා හඳුන්වති.
වැල්ලෝනියාව | බෙල්ජියම
ජනගහනය: මිලියන 3.6, සමස්ත ජනගහනයෙන් 32%
මෙම කලාපය මේ වන විටත් සැලකිය යුතු ස්වයං පාලනයක් භුක්ති විඳිමින් සිටින අතර, වැලෝනියානුවන්ගෙන් බහුතරයකට බෙල්ජියමෙන් වෙන් වී යාමේ උවමනාවක් ද නැත. කෙසේ නමුත් තමන් කතා කරන ප්‍රංශ බස සහ සංස්කෘතික උරුමයන් තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. ප්‍රංශ බස කතා කරන බෙල්ජියම් ජාතිකයන්ගෙන් සමන්විත වැල්ලෝනියා නිදහස් ව්‍යාපාරයට අවශ්‍ය වන්නේ ප්‍රංශය සිය මව් රට වශයෙන් සැලකීමට ය. කෙසේ නමුත් මේ සඳහා විශාල මහජන කැමැත්තක් මේ දක්වා ලැබී නැත.
බ්‍රිටනි |ප්‍රංශය
ජනගහනය: මිලියන 3.3, සමස්ත ජනගහනයෙන් 5%
විශාල සංස්කෘතික අනන්‍යතාවයක් සහිත කලාපයකි. යුරෝපා භාෂාවක් වන කෙල්ටික් බස කතා කරන ජාතීන් හයෙන් එකකි. (සෙසු ජාතීන් වන්නේ කෝන්වෝල්, අයර්ලන්තය, මෑන් කොදෙව්ව, ස්කොට්ලන්තය සහ වේල්සය යි) බ්‍රිටනි ජාතිකවාදියෝ ප්‍රංශයේ මැදිහත්වීම ඇතිව හෝ නැතිව, ආරක්ෂාව, බ්‍රිටනි සංගීතය, සම්ප්‍රදායන් සහ සංකේත, බ්‍රිටනි භාෂාව පිළිබඳ සිය අයිතිවාසිකම් ඉල්ලා සිටිති. බ්‍රෙටොන් යනුවෙන් ද ඇතැම්විට හැඳින්වෙන බ්‍රිටනි භාෂාව කතා කරන වැසියෝ ලක්ෂ 2 ක් පමණ මෙහි වෙසෙති. 2013 වසරේ පැවති ජන මත විමසුමකදී හෙළි වුයේ මෙම කලාපයේ ජනතාවගෙන් 18% ක් වෙන් වී යාමට කැමැත්ත පළ කරන බවයි. තවද එම ජනතාවගෙන් 48%ක් ම තමන් ව විස්තර කරන්නේ ප්‍රංශ ජාතිකයන් වශයෙනි.
බැවේරියාව | ජර්මනිය
ජනගහනය: මිලියන 12.9, සමස්ත ජනගහනයෙන් 15.6%
1871 වසරේ ජර්මනියට ඈඳීමේ පටන් බැවේරියානු ජාතිකත්වවාදය ශක්තිමත්ව වැඩෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් 50 දශකයේදී බැවේරියානු බෙදුම්වාදී පක්ෂය විශාල වැඩ කොටසක් ඉටු කළේය. මේ අතර 2017 වසරේ පැවති ජන මත විමසුමකදී පෙනී ගියේ සෑම බැවේරියානුවන් 3 දෙනෙකුගෙන් එක් අයෙක්ම ජර්මනියෙන් නිදහස ලබාගැනීමට කැමැත්ත පළ කරන බවයි.
උතුරු අයර්ලන්තය |එක්සත් රාජධානිය
ජනගහනය: මිලියන 1.8, සමස්ත ජනගහනයෙන් 2.8%
ජනරජයේ කොටසක් බවට පත් නොවී එක්සත් රාජධානියෙන් නිදහස ලබාගැනීම 1920 දශකයේ පටන්ම ඔවුන්ගේ අරමුණ විය. නමුත් ඒ සඳහා කිසිදු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක සහාය නොලැබුණි. 1095 ඇන්ග්ලෝ-ඇමරිකානු ගිවිසුමට ද විරුද්ධ වුවද, එය තවමත් ප්‍රධාන ධාරාවේ සහයෝගය දිනාගැනීමට සමත් වී නැත.
ස්කොට්ලන්තය |එක්සත් රාජධානිය
ජනගහනය: මිලියන 5.4, සමස්ත ජනගහනය 8.2%
19 වන සියවසේ මැද භාගයේ පටන් ස්කොට්ලන්තය ස්වයං පාලන අයිතිය ඉල්ලා සිටියි. 1934 වසරේ පිහිටුවාගත් ස්කොටිෂ් ජාතික පක්ෂයේ ප්‍රධානතම අරමුණ වන්නේ පූර්ණ නිදහස ලබාගැනීමයි. එක්ස්ත රාජධානිය තුළ පිහිටා තිබෙන විමධ්‍යගත රජයක් ලෙස සැලකෙන ස්කොට්ලන්තය, 1999 වසරේ පටන් විශාල ස්වයං නිර්ණ බලතල සමුදායක් භුක්ති විඳිමින් සිටියි. 2014 වසරේදී ස්කොට්ලන්ත වැසියන්ගෙන් 84%කට අධික ප්‍රතිශතයක් එක්සත් රාජධානියෙන් ස්වාධීන වීමට අවශ්‍ය ද යන්න විමසා බැලීම සඳහා පැවති ජනමත විචාරණයට සිය ඡන්දය ප්‍රකාශ කළහ. ඒ අතරින් 44.7% ක් තමන් ට එක්සත් රාජධානියෙන් නිදහස අවශ්‍ය බව කියා සිටි අතර, 55.3%ක් ඊට එරෙහිව සිය මතය පළ කළහ. ස්කොට්ලන්තයේ ප්‍රථම අගමැති වන එස්එන්පී පක්ෂ නායක නිකොලා ස්ටර්ජන් පවසා තිබෙන්නේ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව තවත් ජනමත විචාරණයක් මේ සම්බන්ධව පැවැත්වීමට අවශ්‍ය වනු ඇති බව ය.
වේල්සය | එක්සත් රාජධානිය
ජනගහනය: මිලියන 3.1, සමස්ත ජනගහනයෙන් 4.7%
19 වන සියවසේ මැද භාගයේ පටන් වේල්සය තුළ නිදහස් ව්‍යාපාරය ක්‍රියාත්මක විය. වෙල්ෂ් ජාතිකවාදී පක්ෂය වන ප්ලේයිඩ් ක්‍රිම්රු පක්ෂය, එය පිහිටුවා ගත් 1925 වසරේ පටන්ම එක්සත් රාජධානියෙන් නිදහස දිනාගැනීමේ ව්‍යාපාරයේ සක්‍රිය ලෙස නියැළී සිටියි. ස්කොට්ලන්තය මෙන්ම වේල්සය ද 1999 ජනමත විචාරණයේදී බලය විමධ්‍යගත කිරීමට කැමැත්ත පළ කළේය. එයින් වසර 2කට පසුව විධ්‍යගත බලතලවලින් යුත් වේල්ස් ආණ්ඩුව පිහිටුවා ගැනිණි. මෑතකාලීන ජනමත විමසුමකදී හෙළි වූ පරිදි වේල්ස් වැසියන්ගෙන් 40% ක් එක්සත් රාජධානියෙන් වැඩිමනත් විමධ්‍යගත බලතල ඉල්ලා සිටිති. මේ අතර වේල්ස් වැසියන්ගෙන් 25% ක් එක්සත් රාජධානියෙන් පූර්ණ නිදහස ඉල්ලා සිටිති.
- අමාලි ජයවීර
COMMENTS