බාර් මෑන්ට හොදට මතකයි බ්‍රිතාන්‍යයේ පුරවැසිකම සඳහා සුදුසුකම් ලබපු ලියවිලි අතට දෙන ගමන් ඩොක්ටර් නගුල් ඔහුට කියපු කතාව. ‘තරුණයා ඔන්න මම ...
බාර් මෑන්ට හොදට මතකයි බ්‍රිතාන්‍යයේ පුරවැසිකම සඳහා සුදුසුකම් ලබපු ලියවිලි අතට දෙන ගමන් ඩොක්ටර් නගුල් ඔහුට කියපු කතාව. ‘තරුණයා ඔන්න මම මගේ වැඩේ කළා. නමුත් එකක් මතක තියාගන්ඩ මේවා අපේ රටවල් නෙමෙයි. උඹටවත් මටවත් කවදාකවත් සුද්දො වෙන්ඩ බෑ. අපි මුන්ගෙ ඇක්සන්ට් එක අරගෙන කතා කළත් මුන් අපිට කියන්නෙ ‘බ්ලඩි පාකි' කියල. අපේ නළලෙ ගහල නැහැනෙ අපි ශ්‍රී ලංකන් කියල. අපිට, ඉන්දියන් කාරයින්ට, පකිස්තාන් කාරයින්ට, බංගලීන්ට, ඇෆ්ගන්ලට සුද්දන්ගෙ කොමන් යෙදුම තමයි ‘බ්ලඩි පාකි' . ඒක නිසා හැම වෙලාවෙම ඒක ඔලුවෙ තියාගන්ඩ. දෙවන ලෝක යුද්දෙ වෙලාවෙ සියවස් ගණනක් යුරෝපයේ ජීවත්වෙච්ච හැට ලක්ෂයක් යුදෙව්වො නාසි හමුදාව මැරුවෙ තෝරල බේරල නෙමෙයි. ඒවගේ තත්වයක් අනාගතයෙත් ඇතිවෙන්ඩ පුළුවන්'
ඩොක්ටර් නගුලේෂන් ඒ කතාව බාර් මෑන්ට කිව්වෙ 2002 අවුරුද්දෙ මුල. ඒ කියන්නෙ ඇමරිකාවෙ 9/11 ඇටෑක් එකෙන් මාස දෙක තුනකට පස්සෙ. ඒ කියන්නෙ මීට අවුරුදු 15 කට විතර ඉස්සර.නගුල් කිව්ව කතාව අද ඔප්පු වෙමින් පවතිනවා. තව අවුරුදු 15 ක් යද්දි මොනවගේ තත්වයක් ඇති වෙයිද? නියම ඇමරිකන් කාරයෙක් අද ඇමරිකාවෙ ජනාධිපතිවෙලා ඉන්නවා. එයාගෙ නියෝජිතයො අද ලෝකයෙ හැමතැනම එකසිය ගානට වැඩ. මහා බ්‍රිතාන්‍ය ගිය අවුරුද්දෙ බ්‍රෙක්සිට් එකෙන් පස්සෙ පුංචි එංගලන්තය කරා සීඝ්‍රගාමීව පසුබසිමින් ඉන්නවා. මුළු යුරෝපය පුරාම අති දැවැන්ත දක්ෂිනාංශික රැල්ලක් මතු වෙමින් පවතිනවා. හරියටම ගිය සියවසේ මේ කාලයේ ඒ කියන්නෙ එක්දාස් නමසිය විසි තිස් ගණන්වල ඇති වෙච්ච දක්ෂිනාංශික දේශප්‍රේමය ලෝකයේ හැම තැනම දැක ගන්න පුළුවන්. ලෝක ආර්ථික අවපාතය මේ හැම සංසිදියක්ම තව තවත් තීව්‍ර කරනවා. මේ රටවල්වල මිනිස්සු හිතන්නෙ අපේ දේ හොරා කන්න එක එකා, එක එක රටවලින් යුරෝපෙට ගොඩ බැහැලා කියලා. ප්‍රංශෙ අලුත් ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ ජර්මනියේ චාන්සලර් ඇන්ගෙලා මර්කල් නොවෙන්න මුළු යුරෝපයම දක්ෂිනාංශික ග්‍රහණයට අහුවෙලා හමාරයි. ඒ අතරින් ඇන්ගලා මර්කල් කියන්නෙ විශිෂ්ඨ දැක්මක් සහිත ප්‍රභල නායිකාවක්. ලෝකයේ පෘථූළ දේශපාලන දෘෂ්ඨියක් සහිත තවත් විශිෂ්ඨ ඝනයේ නායකයෙක් තමයි කැනඩාවේ ජස්ටින් ටෘඩෝ. මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ මේවගේ අතලොස්සක් නායකයින් අතේ.
ඉතිං පබ් එකේ කට්ටිය සුපුරුදු පරිදි ෂැම්පේන් බෝතලයක් විවෘත කරලා ඉන්දු පකිස්ථාන් හැත්තෑවෙනි නිදහස් සමරුව මෙන්ම ඩොක්ටර් නගුල්ගේ උපන්දිනයට සුභ පැතුවත් ඔහු සිසිල්බීම වීදුරුවක් පානය කරමින් ඊට සම්බන්ධ වුනේ ඔහු මීවිත පුරන්නෙක් නොවන නිසා.
‘මම ඉපදිලා දවස් 2 ක් යද්දි අපේ අල්ලපු රටේ මිලියන 2 ක් හින්දු මුස්ලිම් මිනිස්සු ඝාතනය වෙනවා. මම කවදාකවත් උපන්දිනයක් සමරල නෑ. ඉන්දියාවෙන් පකිස්තානෙ වෙන් වෙද්දි තමන්ගෙ ජීවිත පූජකරපු ඒ අසරණ මිනිස්සුන් මට මතක් වෙනවා. ඒක නිසා මට කවදාකවත්ම බැහැ සතුටුවෙන්න. මට තාම තේරුම් ගන්න බැරි ආගමක් වෙනුවෙන් මිනිස්සු ඇයි ඒ විදිහට ගහ මරාගත්තෙ කියල. ආගමක් තියෙන්න ඕනි අවිහිංසාවාදය පතුරුවන්න. මිනී මරාගන්න නෙමෙයි' කට්ටියම ඩොක්ටර් නගුලගේ කතාවට සාවදානව සවන්දීගෙන හිටියා.
‘අපේ රටේ නම් එහෙම දෙයක් සිද්ධ වුනේ නැහැ. සුද්දා කෙලින්ම කලු සුද්දො ටිකකට රට බාර දීලා ගෙදර ගියා.' එහෙම කිව්වෙ ගාල්ලෙ අමරෙ අයියා.
‘ නෑ එහෙම නෙමෙයි අපේ රටේ සිද්ද වුනේ. අපේ රටට නිදහස ලැබෙන්නෙ 1948 පෙබරවාරි 04. ඊට මාස 6 කට කලින් ඉන්දියාවෙයි පකිස්තානෙයි සිද්ධ වෙච්ච මහා ජීවිත විනාශය දැකපු සුද්දො ඒ විනාශය සිද්ද කරපු ‘ජාතිවාදය නැමැති භූතයා' අල්ලලා බෝතලේකට දාලා බෝතලේ වලව්වට බාර දුන්නා මේක කාටවත් පේන්නෙ නැති තැනක හංගල තියන්න කියල. නමුත් සුද්දා සේනානායක උන්නැහෙට මේ බෝතලේ රහසින් දෙන හැටි එක මනුස්සයෙක් බලන් හිටියා. එයා ඒ කාලෙ සේනානායක උන්නැහෙගෙ හොද යාලුවෙක්. ඒ මනුස්සයා හිතුවා සේනානායකවරුන්ට බලය ලැබිච්ච රහස තියෙන්නෙ ඒ බෝතලේ කියල. මනුස්සයා අවුරුදු ගණනක්ම වෑයම් කරලා සේනානායකලා එහාට මෙහාට වෙනකම් ඉදලා අර කියපු බෝතලේ ඉස්සුවා. බෝතලේ හිටපු භූතයා අර මනුස්සයාට කියනවා ‘ඔය ඇබේ ගලවල මාව එළියට ගන්නවා. මම තමුසෙව රටේ අගමැති කරන්නම් කියලා. අර මනුස්සයත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අගමැතිකමට කෑදර කමේ ඇබේ ගලවල භූතයව එළියට ගන්නවා. භූතයව එළියට ගත්ත ඒ මනුස්සය තමයි හොරගොල්ලෙ වලව්වෙ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක. පස්සෙ භූතයා බණ්ඩාරනායක එක්ක සෙට්වෙලා 1956 බණ්ඩාරනායක උන්නැහෙව ලංකාවෙ අගමැති කරනවා. නමුත් 1959 වෙන කොට තමන්ව අගමැති කරපු භූතයම බණ්ඩාරනායක උන්නැහෙගෙ ජීවිතය උදුර ගන්නවා. බණ්ඩාරනායක යන්ඩ ගියත් භූතයා ලංකාවෙ දිගටම නවතිනවා. භූතයා අදටත් ලංකාවෙ යහතින් ඉන්නවා. පන්සල්වල දේවාලවල කෝවිල්වල තමයි භූතයා වැඩිපුරම වැඩ වාසය කරන්නෙ. දැන් දැන් භූතයා මල්වතු අස්ගිරි පන්සල්වලත් හක්කලන් කරනවා. කෝවිල්වල පොට්ටු තියාගෙන උඩුකය නිරුවත්ව ඉන්න මේ භූතයා පන්සල්වල ඉන්නෙ එක්කො සිවුරු ඇදගෙන එහෙම නැත්නම් සුදු රෙදි පොරෝගන. දැන් දැන් මේ භූතයා සිකුරාදා හවසට ජුම්මා පල්ලිවලටත් රිංගනවලු' බාර් මෑන්ගෙ දීර්ඝ විස්තරය කට්ටිය අහන් හිටියේ කට කණේ තියන්. නමුත් එක පුද්ගලයෙක්ට ඒක එහෙම වුනේ නෑ. ඒ තමයි දොස්තර ඇන්ඩෘ බර්නාඩ් හෙලකුමාර.
‘ මොන බහු භූත කතාවක්ද ඒක. නියම දේශප්‍රේමයෙන් දේශානුරාගයෙන් මත් වෙච්ච මිනිස්සුන්ට එහෙම භූතයො කියල පාච්චල් කරන එක හරිද? බණ්ඩාරනායක උන්නැහේ තමයි සිංහල භාෂාවට අයිති තැන ලබල දුන්න නායකයා. අපිත් පනස් හයේ දරුවො.
මහාචාර්ය නලීන් ද සිල්වලා මහාචාර්ය අලවත්තාගොඩ පේමදාසලා අපි එක කට්ටිය. මාටින් වික්‍රමසිංහ තුමා විරාගය ලියන්නෙත් එදිරිවීර සරත්චන්ද්‍ර තුමා මනමේ සිංහබාහු හදන්නෙත් අමරදේව තුමා හෙළ ගීත කළාව පෝෂණය කන්නෙත් 1956 බණ්ඩාරනායක උන්නැහේ කරපු චින්තන විප්ලවය නිසා. පනස් හයේ බලයට පත් වුනේ ගුරු සංඝ වෙද ගොවි කම්කරු කියන පංච මහා බලවේගය. ඒක කළු සුද්දන්ට ඇහේ කටු අනින්නක් වුනා. ඒකනෙ කොතලාවල උන්නැහේ පනස් හයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වෙ දැන් ගමක පොල් ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් නෑ , හැම එකාම පාර්ලිමේන්තු ඇවිත් කියලා.'
‘ ඒක හරි දොස්තර මහත්තයෝ. පනස් හයේ චින්තන විප්ලවය නිසා ලංකාවෙ සංස්කෘතික පුනරුදයක් ඇතිවෙච්ච බව ඇත්ත. නමුත් පස්සෙන් පහු සිදුවෙච්ච විනාසෙත් එක්ක බලද්දි පනස් හයේ පුනරුදය නොවුන නම් හොඳයි කියල හිතෙන්නැද්ද? 'එහෙම ඇහුවෙ ජර්මනියෙ රංජන් අය්යා.
‘තමුසෙල වගේ ජාතියක් ජන්මයක් නැති ජීවිතය පුරාම පිටරට කණ්නාඩිවලින් ලංකාව දිහා බලන එවුන්ට පනස් හයේ විප්ලවය විහිළුවක්. පනස් හයේ සිද්ධ වුනේ ලංකාව කියන සංස්කෘතික හිස නැති සිරුරට (කවන්ධය) ඔලුවක් හයි කිරීම. ඒ ඔලුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ. රටේ සැබෑ නිදහස මල්ඵල ගැන්වුනේ ශ්‍රීලනිපයෙන්. රෙද්ද බැනියම අඳින නියම ගැමි උගත් තරුණ පරපුර කරලියට ආවෙ ශ්‍රීලනිපය හරහා' ගාල්ලෙ අමරෙ අයියා දේශනාව පටන් ගත්තා.
එතෙක් වෙලා නිහඬව හිටපු ඩොක්ටර් නගුල් සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර බසකින් තමන්ගේ අදහස් පලකළා.
‘මට හිතෙන්නෙ නයින්ටීන් ෆිෆ්ටි සික්ස් කියන්නෙ අපේ හිස්ට්‍රි එකේ ටර්නින් පොයින්ට් එකක්. බාර් මෑන් කිව්වා වගේ අපේ කොලෝනියල් රූලර්ස්ලා හතලිස් හතේ අගෝස්තු මාසෙ ඉන්දියාවෙ වෙච්ච මිස්ටේක් එක ආයිත් රිපීට් කරන්න ගියෙ නෑ. නැත්තන් අපේ කට්ටියත් රටෙන් වෙනම කෑල්ලක් ඉල්ල ඉල්ල තමයි හිටියෙ. පකිස්තානෙ මොහොමඩ් අලි ජින්නා වගේ අපිට හිටියෙ තාන්තෙයි චෙල්වා. පනහට පනහ කියන්නෙ ඒකයි. සුද්දො හරියටම ඩී.එස් ට ඇඩ්වයිස් කළා. ඒ ඇඩිවයිස්වල ප්‍රතිඵල තමයි ගල්ඔය වගේ ව්‍යාපාර. ඉන්දියාවෙයි පකිස්තානෙයි ඉන්න රිලිජස් එක්ට්‍රීමිස්ලට කොමන් එක්ස්කියුස් එක තමයි හතලිස් හතේ මැරිච්ච මිලියන 2 ක ජනතාවගේ මරණවල රෙස්පොන්සබිලිටි එක, කොලෝනියල් රූලස්ලගේ එකවුන්ට් එකට දාන එක. ඒ මිලියන 2 ක් මරණවලට සුද්දො සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන් නෑ. රිලිජියස් එක්ස්ට්‍රීමිස්ට්ලත් එහි වගකීම 50 % ක් භාර ගන්න ඕනි. අපේ රටේ තත්වයත් ඒකයි. පනස් හයෙන් පස්සෙ සිද්ධ වෙච්ච මිනිස් සංහාරවල වගකීම සිංහල එක්ස්ට්‍රීමිස්ට්ලත් දෙමළ එක්ස්ට්‍රීමිස්ට්ලත් බාර ගන්න ඕනෙ. උඹලා සිංහලයන් විදිහට හිතන තාක් අපි දෙමළු විදිහට හිතන තාක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. කවදාකවත් මිලිටරි වික්ටරි එකකින් ජනවාර්ගික ප්‍රශ්නයක් විසඳන්න බැහැ. ඒක හරියට රබර් බෝලයක් පාගාගෙන වතුර යට තියන් ඉන්නවා වගේ. ග්‍රිප් එක අඩු කරපු ගමන් ඒක ආයිත් උඩට එනවා'
‘ ලංකාවෙ සිංහලයෙකුටයි දෙමළයෙකුටයි අඩුගානෙ ලන්ඩන්වල පබ් එකක එකට අඩියක් ගහන්න පුළුවන් වුනත් කවදාකවත් ඉන්දියන් කාරයෙකුටයි පකිස්ථානියෙකුටයි එහෙම කරන්න බෑ. උන් පහුගිය අවුරුදු හැත්තෑවම කරල තියෙන්නෙ එකාට එකා වෛර කර ගත්තු එක. මුන් දෙගොල්ලන්ගෙ වෛරය කියන එක අද ලේවලටම ගිහිල්ලා තියෙන්නෙ. ඒකට මූලිකවම හේතුව ආගම. ඉන්දියාවෙන් ඉගෙනගෙන අපි නහි වේරේන වේරාණී කිව්වත් ඉන්දියන් කාරයා පකිස්තාන් කාරයා දිහා බලන්නෙ ලේ උමතුවකින්. සැබෑ බෙදුම්වාදය තියෙන්නෙ හින්දුයිසම් ඇන්ඩ් ඉස්ලාමිසම් අතර. මේ දෙගොල්ලො ආගමෙන් ඈත්වෙච්ච දාට සැබෑව තේරුම්ගනීවි. නමුත් ඒක කවදාකවත් සිද්ධ වෙන්නෑ. අපිත් සිංහල බෞද්ධ බෝඩ් එක ගහගෙන උන් පස්සෙ යනවා'
බාර් මෑන් එහෙම කියාගෙන යද්දි ඔහුට බාධා කලේ දොස්තර හෙළකුමාර
‘ඉන්දියන් පකිස්තාන් වගේ නෙමෙයි, අපේ රටේ දෙමළවීම නිසා දෙමළ අයට තියෙන ප්‍රශ්නය මොකක්ද?'
'අපි ඔය ප්‍රශ්නෙ දැන්ට අවුරුදු තිහ හතලිහක් තිස්සේ අහනවා. දෙමළට දෙමළ වීම නිසා තියෙන්නෙ එක ප්‍රශ්නයයි. ඉන්දියන් කාරයින්ට පකිස්තාන් කාරයින්ට නැති ප්‍රශ්නයක් ඒක' උත්තරය රංජන් අය්යාගෙන්.
‘මොකක්ද ඒ ? '
‘ඉන්දියන් කාරයින්ට පකිස්තාන් කාරයින්ට උන්ගෙ කියල රටක් තිබ්බත් දෙමළ අයට එහෙම රටක් නෑ'
‘එතකොට උඹ කියන්නෙ ඉන්දියාවෙන් කෑල්ලක් කඩලා පකිස්තානය දුන්න වගේ ලංකාවෙන් කෑල්ලක් කඩලා ඊලම දෙන්ඩද? '
‘නෑ . එතකොට වෙන්නෙ අද ඉන්දියාවට පකිස්තානෙටයි වෙලා තියෙන දේ ලංකාවෙ දෙමළ අයටයි සිංහල අයටයි සිදුවීම. බිඳී වෙන්වී යාම කිසි ලෙසකවත් ප්‍රශ්නෙට විසදුමක් නෙමෙයි. දෙමළ අයට ඊලම දෙන්න අපි කැමති වුනත් ඉන්දියාව ඒකට ඉඩ දෙන්නෑ. ලංකාවෙ දෙමළ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඉල්ලන්නෙ ඔවුන්ට ඔලුව කෙලින් තියාගෙන දෙවන පන්තියේ පුරවැසියන් නොවී සමාන ආකාරයට ජීවත් වීමේ අයිතිය. සිංහල බෞද්ධයෝ කියල බෝඩ් ගහගෙන ඉන්න අය ඕක තේරුම් නොගන්නා තාක්කල් මේ ප්‍රශ්නෙට විසදුමක් නෑ. අන්න ඒක නිසා තමයි අපි ශ්‍රී ලංකන් කියන අයිඩෙන්ටිටි එක හදා ගන්න ඕනි. එහෙම නැතුව කටයුතු කලොත් සිද්ධවෙන්නෙ 1947 ඉන්දියාවයි පකිස්තානෙයි බෙදා වෙන් කරපු සර් සිරිල් රෙඩ්ක්ලිෆ් මිනී වලෙන් නැගිටලා ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ ඇණවුම අනුව ලංකාවත් බෙදා වෙන් කරලා දෙන එක' බාර් මෑන් තමුන්ගෙ අදහස එසේ ප්‍රකාශ කළත් සියළුම දෙනා ඒක අනුමත කලේ නෑ. නමුත් ඉන්දියාවටත් පකිස්තානෙටත් වඩා මේ ප්‍රශ්නය මිත්‍රශීලීව විසදා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලංකාවට තියෙන බව හැම කෙනාම පිලිගන්නවා.
ඒ වගත් එසේමයි
ලන්ඩන් පබ් එකේ සිට සයිබර් අවකාශයට වාර්තා කළේ
බාර් මෑන් වන මම විසිනි.
පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වන්න
පෙර සටහන්
COMMENTS