සටහන ලියැවී තිබුණේ ගෝපාල් යෝගේස්වරරාසා නොහොත් සීලන් නම් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු පිළිබඳවය. ඔහු මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයා...
සටහන ලියැවී තිබුණේ ගෝපාල් යෝගේස්වරරාසා නොහොත් සීලන් නම් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු පිළිබඳවය. ඔහු මුහුදු කොටි බලකායේ නියෝජ්‍ය නායකයා බවද එහි සඳහන් කර තිබිණි. කෙසේවෙතත් අපට වැදගත් කොටස එන්නේ කතාවෙහි මැද හරියෙනි. ඒ, ඔහු ගාලු වරායට පහරදීම සම්බන්ධයෙන් කරන හෙළිදරව්වයි.
ගාලු වරායට පහරදීම ගැන ගෝපාල්ගේ කතාව
ඒ පිළිබඳව ලිපියෙහි පළ වන්නේ මෙසේය. "සුසෙයිගේ උපදෙස් වලට අනුව මම හම්බන්තොට මිරිජ්ජවිල කියන ගමට ආවා. බන්දුල කියන කෙනාගේ නිවසේ තමා මම නවාතැන් ගත්තේ. බන්දුලගේ අම්මා දෙමළ තාත්තා සිංහල. ඒ කාලයේ අම්පාර අක්කරෙයිපත්තු ප්‍රාදේශීය දේශපාලන නායකයා වශයෙන් බබා කියන නමකින් හැඳින්වෙන කෙනෙක් හිටියා. ඔහු තමා බන්දුල කියන කෙනා මට හඳුන්වලා දුන්නේ.
අපි ඔහුට ලොරියක් අරන් දුන්නා. අජිත් කියලා ඒ ගමේම හිටිය කෙනෙක් ද අපිට ගාල්ල වරායට ගහන්න උදව් කළා. එයා අපිට කළ උදව් වලට ට්‍රෝලර් යාත්‍රාවක් හා කුඩා ධීවර බෝට්ටුවක් අරගෙන දුන්නා. ඒ දෙන්නාම පස්සේ පොලිසියෙන් අත් අඩංගුවට ගත්තා".
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබ, දහසක් වධ හිංසා වලට නතු කරනු ලැබ, වසර ගණන් නඩු තීන්දු නොමැතිව හෝ නඩුත් නොමැතිව බන්ධනාගාරගතව හිඳිනා හඬක් නොමැති දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනුවේදනීය කතා පුවත් 'ලංකා නිව්ස් වෙබ්' වෙබ් අඩවිය සහ 'සත්හඬ' පුවත්පත ඔස්සේ 'පාපොච්චාරණය' නම් ලිපි පෙළක් හරහා කලකට ඉහත දී අපි හෙළිදරව් කළෙමු. ඉහත ලංකාදීප පුවතේ කතා නායකයා වන මුහුදු කොටි නියෝජ්‍ය නායකයා මේ කටේ දිවේ නොගෑවී කියන්නේ අප විසින් එදා "පාපොච්චාරණය 4 - හැරමිටියෙන් එළියට එන්නට නියමිත අජිත් නිශාන්ත" යන ලිපියෙන් හෙළිදරව් කරන්නට යෙදුණු පවුලේ කතා පුවතය. එයද කරුණු විකෘති කිරීමක් ද සහිතවය.
ගෝපාල් නොකියන කතාව
1971 වසරේ උපන් 46 හැවිරිදි අජිත් නිශාන්ත පවසන ආකාරයට ඔහුට බෝට්ටුවක් ලැබී ඇත්තේ සුනාමි ආධාරයක් ලෙස රජයෙනි. ඊට ඇංජිමක් ලබා දී ඇත්තේ පල්ලියක පියතුමෙකු විසිනි. මෙහි පැවසෙන ලොරිය මූල්‍ය ආයතනයකින් කල් බදු ක්‍රමයට ගෙවීමේ පහසුකම් ඇතිව ලබාගත් එකකි. එහෙත් දැන් ඒවා මේ පුවතට අනුව ඉහත කියන මුහුදු කොටි දෙවැනියා විසින් ලබා දුන් ඒවා වී තිබේ. එසේම මේ තරම් දේවල් දන්නා මෙකී මුහුදු කොටි දෙවැනියා බන්දුල ගජවීරගේ නිවසේ නවාතැන්ගෙන සිට ඇතත් අජිත් නිශාන්ත යනු බන්දුලගේ මස්සිනා බව නොදන්නා වගක් හඟවයි. ඒ ගැන නම් ඔහු 'බබෙක්' විය යුතුය. එසේම ඔහු මෙතැන නොකියන්නේ සහ මේ පැරණි කොටි රසකතා රස විඳින පාඨකයින් නොදන්නේ මොහු නැවතී සිටිය බව කියන නිවසේ පදිංචිව සිටි, අත් අඩංගුවට පත් වූ බවට ඔහුම කියන පිරිස තවමත් පසුවන්නේ අත් අඩංගුවේ ම බවය.
මෙකී 'මුහුදු කොටි දෙවැනියා' එම ලිපියෙහි මහත් ආඩම්බරයෙන් පවසන්නේ "මට අද වගේ මතකයි අපි ගාලු වරායට ප්‍රහාරය එල්ල කළේ 2006 වසරේ ඔක්තෝබර් 16 වැනිදා" කියාය. එහෙත් ගාලු වරායට ප්‍රහාරය එල්ල වුණේ 2006 වසරේ ඔක්තෝබර් 18 වනදාය. ඔහුගේ මතකයෙන් කියනා ඉතිරි පුරසාරමුත් මෙවැනිම නොවේයැයි කිව හැකි කාටද ? කෙසේ වෙතත් ඔහු විසින් ම උදව් සඳහා සම්බන්ධකම් ඇති කරගත් බව කියන අජිත් නිශාන්ත අත් අඩංගුවට පත් වූයේ 2009 අගෝස්තු 07 වනදා ධීවර රැකියාවට ගොස් එමින් සිටියදී හම්බන්තොට වෙරළ තීරයේදීය. එදිනම අක්කරෙයිපත්තුවේ විසූ ඔහුගේ බිරිඳගේ මව සහ පියා, එනම් පෙරකී බන්දුල ගජවීරගේ මව සහ පියා ද අත් අඩංගුවට ගැනුණි. ඒ, මේ කියන මුහුදු කොටි දෙවැනියාට නවාතැන් දුන්නේයැයි යන චෝදනාව මතය. මේ ගුණරත්න ගජවීර නම් පියා එවකට 62 හැවිරිදි වියේ පසුවූ අතර වයිරමුත්තු සරෝජා නම් මව 57 හැවිරිදි විය.
සිරගෙදරදීම අවසන් ගමන් ගිය ගුණරත්න ගජවීර
මේ කියන මුහුදු කොටියා විසින් කරන ප්‍රකාශය සත්‍යයම යැයි අපි මොහොතකට උපකල්පනය කරමු. මුහුදු කොටි දෙවැනියාට දරුවන් උදව් කළ පළියට වයස්ගත දෙමාපියන් රඳවා ගන්නේ කවර යුක්ති ධර්මයක් යටතේද ? බොරු අවලාද රැසක් සමඟින් ගොතන ලද 'පාපොච්චරාණ' නම් ලියවිල්ලකට දස වධ දී අත්සන් ලබාගෙන 2009 වසරේ අගෝස්තු 07 වනදා පටන් දීර්ඝ කාලයක් බන්ධනාගාරයෙහි කොටු කරනු ලැබ සිටි ගුණරත්න ගජවීර පසුගිය දිනෙක නිදහසක බලාපොරොත්තුව ද තම අවසන් හුස්ම සමඟ ම අත් හළේ බන්ධනාගාරය තුළ දීමය. මුහුදු කොටින්ගේ දෙවැනියා ලෙස තමන් ම කියා ගන්නා පුද්ගලයා පොලිස් නිලධාරීන් බදා වැළඳ ගනිමින් එළියේ පුවත්පත් වලට හපන්කම් කියද්දී ඔහුගේම සැලැස්මක කුඩා කොටසකට දරුවෙකු සහභාගී වූ බව ඔහුම කී පමණින් ම ( ඔප්පු කොට නැත ) ගුණරත්න ගජවීරට සිදුවූයේ වසර 8ක් තරම් දීර්ඝ කාලයක් බන්ධනාගාරය තුළ අසනීපයෙන් පෙළෙමින් සිට 70 වැනි වියේදී මිය යන්නටය. මෙවන් ඛේදවාචකයක් නීතියෙන් පැහැදිලි කරදෙන්නේ කවුරුන්ද ? කෙසේද ?
පෙරකී බන්දුල ගජවීර අත් අඩංගුවට පත් වූයේ 2011 සැප්තැම්බර් 12 වැනි දින ඉරාකයෙහි රියදුරෙකු ලෙස රැකියාව කර නැවත සියරට පැමිණෙන මොහොතේ කටුනායක ගුවන් තොටුපොලේදීය. 1973 වසරේ උපන් 44 හැවිරිදි විවාහයකු වන ඔහුට දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සිටී. ඔහු වසර 6ක් සිරබත් කන අතරතුරේ ගාල්ල වරායට පහරදීමට සැලසුම් කළ බවට තමන් ම පත්තරවලට කටමැත දොඩනා 'මුහුදු කොටි දෙවැනියා' නිදහසේ තමන්ගේ වසර එක හමාරක් වයසැති දියණිය සුරතල් කරමින් සිටී. 46 හැවිරිදි අජිත් නිශාන්ත එදිරිසිංහට ද එක් පුතෙකු සහ දියණියන් තිදෙනෙකු සිටී. 'මුහුදු කොටි දෙවැනියාගේ' දියණිය ලබන පිය සෙනෙහස ලබන්නට ඔවුන්ට වරම් නැත්තේ මන්දැයි පැහැදිලි කරදෙන්නේ 'මුහුදු කොටියාව' රටට පෙන්වීම සඳහා කැඳවාගෙන පොලිස් නිලධාරියාද ? නැතිනම් 'මුහුදු කොටි දෙවැනියාගේ' හොරණෑව ඕසෙට වයනා ලංකාදීප විශේෂාංගය ලියන්නාද ? අපට පැහැදිලි නැත.
65 හැවිරිදි වෛරමුත්තු සරෝජා භයානක ත්‍රස්තවාදියෙක්ද ?
බන්දුල ගජවීරගේ මව වන වයිරමුත්තු සරෝජා දැනට 65 හැවිරිදිය. සැමියාගේ වියෝවෙන් උපදින ශෝකයෙන් ඇය දිනපතා තැවෙනවා නොඅනුමානය. නඩුත් නොමැතිව වසරකුත් මාස 8ක් බූස්ස කඳවුරේ තැපීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරයට ගාල් කරනු ලැබ ඇය මේ ගෙවන්නේ හත්වැනි වසරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කරගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි අප හඬ නඟන විට සිංහල මහජාතිවාදීන් අපට පිළිතුරු දෙන්නේ "භයානක ත්‍රස්තවාදීන් නිදහස් කරමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළනවා" යන ප්‍රතිතර්කය නඟමිනි. හදවත් ඇති මිනිසුන්ගෙන් පමණක් අසමි. 65 වියැති වෛරමුත්තු සරෝජා මාතාව භයානක කොටි ත්‍රස්තවාදියෙකු ලෙස ඔබට හැඟෙන්නේද ? ඇයව නිදහස් කිරීම ජාතික ආරක්ෂාව තර්ජනයක් ලෙස ඔබට හැඟෙන්නේද ? ඇය නිදහස්ව ගිය පසු යළිත් එල්.ටී.ටී.ඊ සංවිධානයක් ආරම්භ කරනු ඇතැයි ඔබට හැඟෙන්නේද ?
පැරණි 'මුහුදු කොටියා' හෙවත් ගෝපාල් යෝගේස්වරරාසාගේ කතා පුවතෙන් ජාතිවාදී බැලුම් බෝල වලට අමතර හුළං සැපයීමට ලියන්නා උත්සාහ දැරුවද අප ඉදිරියේ නම් එයින් සිදුවන්නේ 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීමට ජාතිවාදී පාර්ශ්ව ගෙනෙනා තර්ක වල හුළං යාමත් ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවල නීතිමය පදනම හුළඟේ යාමත් පමණි.
"ගාල්ල වරායට ප්‍රහාර එල්ල කිරීමට මම අක්කරෙයිපත්තුවේ ඉඳලා බෝට්ටුවකින් ආවා. මේ සමඟ තව බෝට්ටු 4ක් ආවා. එක බෝට්ටුවක දෙන්නා බැගින් ඒවායේ මරාගෙන මැරෙන කළු කොටි 8 දෙනෙක් හිටියා. මමත් ඒ එක බෝට්ටුවක ආවා. මම තමා ඒ කණ්ඩායමට නායකත්වය දුන්නේ. බෝට්ටු හතරේම අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා තිබුණා. කළු කොටි හතර දෙනා ළඟ ආර්.පී.ජී., එල්. එම්.ජී. වැනි අවි තිබුණා. ඔවුන් අට දෙනාම මරාගෙන මැරෙන ඇඳුම් ඇඳ හිටියා.
ප්‍රහාරයට අවශ්‍ය සියලු උපදෙස් මරාගෙන මැරෙන කළු කොටි අට දෙනාට මම අවසාන මොහොතේ ලබා දුන්නා. ගාලු වරාය කිට්ටුවට ආවට පස්සේ මම බෝට්ටුවෙන් මුහුදට පැනලා ගොඩබිමට පිහිනාගෙන ආවා. බන්දුලගේ ලොරිය මුහුදු වෙරළ අයිනට ඇවිත් තිබුණා. මම ඒකේ නැගලා යන්න ගියා" මේ, ප්‍රහාරයෙහි සම්පූර්ණ වගකීම බාරගනිමින් ලංකාදීප පුවත්පතට ඔහු ලබා දී ඇති ප්‍රකාශයයි. නොහොත් ගාල්ල වරායට පහරදීම ගැන හිටපු මුහුදු කොටි දෙවැනියාගේ පම්පෝරියයි.
ප්‍රහාරයේ මහ මොළකරුට හිමි නිදහස අජිත්ලාට නැත්තේ ඇයි ?
මොහු මෙය රස කරමින් වාර්තාකරුට පවසන්නට ඇති අතර ඔහුද අතිනුත් දමා ජාතිවාදී රසය ඇවිස්සෙන අයුරින් මෙය රසවිතට ලියන්නට ඇත. ප්‍රශ්නය ඇත්තේ ඔහු මේවා රසකර කියන අතරතුර ගාලු වරායට පහරදීම සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරු බවට පත් විය යුතු ඔහු නොමැතිව අහළින් පහළින් ගිය අය සැකකරුවන් කරගෙන නඩුවක් දැනට විභාග වීමය. ඔහු කියන සියල්ලම ඇත්තයැයි සැලකුව ද බන්දුල ගජවීර කර ඇත්තේ ඔහුට ප්‍රහාරයෙන් පසුව පළා යෑමට උපකාර කිරීමය. ඔහු ඒ සම්බන්ධයෙන් ඇපත් නොලබා වසර 6ක් මුළුල්ලේ සිරගෙදරය. ප්‍රහාරය සැලසුම්කර, ප්‍රහාරයට සියලු උපදෙස් ලබා දී, මරාගෙන මැරෙන කළු කොටි 8 දෙනෙක් ඊට යොදවා, ඔවුන් සමඟ ගාලු වරාය අසළටම ගොස්, මුහුදට පැන පීනා ගොඩබිමට පැමිණ, බන්දුලත් සමඟ චූන් එකේ ලොරියෙන් ගෙදර ගිය ගෝපාල් යෝගේස්වරරාසා අදටත් චූන් එකේ ගෙදරය. ඔහු කිරි ගව ව්‍යාපාරයක් ද කරගෙන යයි. ඔහුගේ කයිවාරුව සත්‍යයම බව පිළිගත්තත් ඔහුගේ සැලැස්මට අනුව, ඔහු විසින් පොළඹවාගෙන සුළු සුළු උපකාර කරවාගත් අජිත් සහ බන්දුල අදටත් හිරගෙදරය. ඔවුන්ට විරුද්ධව නඩු ඇසෙන්නේ ප්‍රධාන චූදිතයා විය යුතු ගෝපාල් ද නැතිවය. මේ කිසිවකට සම්බන්ධ නොවූ ගුණරත්න ගජවීරට සිදුවූයේ සිරගෙයක් තුළම පරලොව යන්නටය. වෛරමුත්තු සරෝජා කර ඇති වරද මේ යන ආකාරයට අනුව නම් බන්දුල නම් පුතෙකු වැදීම විය යුතුය. ගෝපාල්ට නැතිව මොවුන්ට පමණක් නීතිය ඉදිරියේ නොකළ වරදකට වධ විඳින්නට සිදුවීම පහදා දිය හැක්කේ 'පහත් තැනින් යයි ගළා ජලේ' න්‍යාය අනුවද ?
අප මීට පෙර ද පුන පුනා පැවසූ පරිදි දැනට අත් අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් ගෙන් බහුතරයකගේ නඩුවල තත්වය උක්ත ආකාරය. ඔවුන් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති මහා භයානක ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු අය නොවේ. සමහරුන් කිසිවකට ම සම්බන්ධ අය නොවේ. බහුතරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හෝ නොවේ. ඔවුන්ට එරෙහිව පවරා ඇති ඊනියා නඩු වලට වගකිව යුත්තෝ උක්ත ලිපියෙහි සඳහන් පරිදිම නිදැල්ලේ වෙසෙති. අපට ගැටළුව එය නොවේ. එසේ වගකිවයුත්තන් එළියේ සිටිද්දී අහක යන මිනිසුන් හෝ ලොක්කන් එළියේ සිටිද්දී සොක්කන් හෝ අල්ලාගෙන නඩු දමාගෙන හෝ නඩුත් නැතිව රඳවා තබාගෙන දකුණේ රාජ්‍යය මින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය. එසේම මෙවන් ප්‍රශ්නයකදී එය එහි සන්දර්භයත් සමඟ ගෙන පිළිතුරු සොයනවා වෙනුවට හුදෙකලා කර එක් එක් සිදුවීම් වශයෙන් නීතිය ඉදිරියෙහි තබා කල් මරමින් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීම පිළිබඳවය.
ජනමාධ්‍ය මහජාතිවාදයට හීනි චූන් දීම
ජනමාධ්‍ය නම් මේවායින් බලාපොරොත්තු වන්නේ තම ජාතිවාදී පාඨකයින්ට හීනි චූන් එකක් දීම පැහැදිලිය. ඔවුන් මීට පෙර මෙය ඉහළින් ම කළේ සිවරාසා ජිනීවන් සිදුවීමේදීය. ජනපති මෛත්‍රීව මරන්නට පැමිණි මරාගෙන මැරෙන කොටියා ලෙසින් දකුණේ ජනමාධ්‍ය මඟින් පින්තාරු කළා වූ ජිනීවන් ඔහු අත් අඩංගුවට පත්වන කාලය වන විට මෛත්‍රීපාල සිරිසේන නම් ඇමතිවරයෙක් දකුණේ ආණ්ඩුවෙහි සිටියාදැයි කියාවත් දැන සිටියේ නැත. එහෙත් මාධ්‍යයට අවශ්‍ය වූයේ දරුණු බිහිසුණු ත්‍රස්තවාදියෙකි. ඔහුට සමාව දෙන ජනපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළිනුත් ඉහළට එසැවෙන්නේ ත්‍රස්තවාදියා බිහිසුණු වූ පමණටය. අවසානයේ ජිනීවනුත් නොදන්නා මරාගෙන මැරෙන ඉතිහාස කතාවක් ඔහුට දකුණේ මාධ්‍ය විසින් හිමිකර දෙනු ලැබිණි.
මේ ලිපියට මාතෘකා වූ 'මුහුදු කොටි දෙවැනියා' ද එවැන්නෙක් විය යුතුය. ඔහුගේ වාගාඩම්බර ගැන සොයා බැලීමේදී තතුදත් පාර්ශ්ව වලින් නම් ලැබුණේ හාස්‍යජනක පිළිතුරුය. කෙසේ වෙතත් 'මුහුදු කොටි දෙවැනියා' නාමය ඔහුම ආසාවෙන් පැළඳගෙන සිටින ආකාරය නිසා හුදෙක් උත්ප්‍රාසය පිණිස එයම පුනරුච්චාරණය කළා මිස, ඔහුව ගෝපාල් යෝගේස්වරරාසා නමින් හඳුන්වන්නට මා කැමතිය. ඔහු ලබා ඇති නිදහසට ද ඉහළින් ම කැමතිය. වරද එය අනෙත් අයට හිමි නොවීමය. දැනට දිවයින පුරා බන්ධනාගාරවල සිරගත කර සිටින 130 - 135ත් අතර දේශපාලන සිරකරුවන් පිරිස නිදහස් නොකෙරෙන්නේ දකුණේ පවතින උග්‍ර සිංහල ජාතිවාදීන්ගේ පීඩනය නිසාය. සිංහල මහජාතිවාදීන්ට දෙන මානසික අල්ලසක් ලෙස මොවුන් රඳවාගෙන පෙන්නමින් සිටිනවා විනා එය සාධාරණීකරනය කළ හැකි වෙනත් තර්කයක් රජයට ද නැත. රජයට අනුව මෙය හුදෙක් පළිගැනීමේ සංකේතයක් වශයෙන් මිනිස් සිරුරු ප්‍රමාණයක් රඳවා ගැනීමක් පමණි. දෙමළ සමාජයට මින් ලැබෙන අනතුරු හැඟවීමේ පණිවිඩය රජය අමතර ලාභයක් ලෙස සලකයි.
සිරකරුවන් 130ක් නිදහස් කිරීමට බැරි ආණ්ඩුවක් ජාතික සංහිඳියාව කෙසේ ගොඩනඟයිද ?
මේ සියල්ල ඔහේ කෙරෙන්නේ, ජාතික ගැටළුව විසඳීම සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම පිළිබඳව දහසකුත් එකක් පොරොන්දු ජනතාවට දී පැමිණි රජයක් යටතේය. එසේම, පළමු වතාවට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් තම විස්වාසය පළ කරමින් ඡන්දය භාවිතා කර පත් කරගත් විධායක ජනාධිපතිවරයා යටතේය. තමන්ගේ නම ගෑවුණු තැනදී පමණක් ප්‍රචාරක වාසිය තකා එක් දේශපාලන සිරකරුවකු නිදහස් කළ ජනාධිපතිවරයා අනෙත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සිටින්නේ ගොළුවත පුරමිනි. සිංහල මහජාතිවාදයේ කරපිට නැඟී ගොඩ යන්නට දඟලන ඊනියා දේශපාළුවන් හැමදාමක් කළේ කෑ ගැසීම පමණි. ඔවුන්ට දැනට කළ හැක්කේද එපමණි. අද රෝහින්ග්‍යා ප්‍රශ්නය අල්ලාගෙන මරහඬ තළන ඔවුන් විසින් හෙටත් කුමක් හෝ පොටක් සොයාගනු ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ඔවුන්ගේ මරහඬ තැළීමට බියෙන් ජනපතිවරයෙක් හා රජයක් දෑත් හකුළාගෙන සිටින්නේ නම්ය. දේශපාලන සිරකරුවන් සම්බන්ධ නඩුවලට නීතියෙන් පිළිතුරු සොයන්නට යාම විකාරයක් බව ඉහත ප්‍රශ්නය ඔස්සේම පැහැදිළි වනු ඇත. මේ සිරකරුවන් 130 දෙනා නිදහස් කිරීමට කෙළින් දේශපාලනික තීන්දුවක් ගත නොහැකිව ඇඹරෙන ජනපතිවරයකු හෝ රජයක් යටතේ ජාතික ගැටළුවට විසඳුමක් ලැබෙනු ඇතැයි සිහිනෙන් හෝ සිතිය හැකිද ? කොහෙත්ම නැත.
ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙහි 2/3ක බලයක් ද පවතින බව පසුගිය දා පළාත් සභා මැතිවරණ සංශෝධිත පනත සම්මත කරගත් අවස්ථාවේ පෙන්වීය. ඒ මොහොතේද ඒකාබද්ධ අටමඟලේ සාමාජිකයින් කෑ ගසමින් ඩෙඟා නැටූ නමුත් ආණ්ඩුව එය ගණන්ගත් බවක් පෙනුණේ නැත. ඒ, ඔවුන්ට මැතිවරණ කල් දමා ගැනීමේ වුවමනාව තදින් ම තිබුණු නිසාය. මේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සමාජයට ඇත්තම කියා සෘජු තීන්දුවක් රජය ගන්නේ නම් මහා කැළඹීමක් කොහෙත්ම වන්නේ නැත. වෙනදා මෙන්ම ඒකාබද්ධයේ නාම්බන් මරහඬ තළා පසුව නිහඬ වෙනු ඇත. එහෙත් ඒ වෙනුවට දෙමළ සමාජයට සංහිඳියාව වෙනුවෙන් රජය අවංකව දෑත් දිගු කරන බවක් පෙනී යනු ඇති අතර අසරණ පවුල් 130කට මහා සැනසීමක් ලැබෙනු ඇත. ගැටළුව ඇත්තේ මෙවන් සුළු ප්‍රවේශයක් හෝ ගන්නට ආණ්ඩුවට වුවමනාවක් තිබේද යන්නෙහිය.
- රුවන් නෙළුගොල්ල
සබැඳි පුවත් -
පාපොච්චාරණය 4 - හැරමිටියෙන් එළියට එන්නට නියමිත අජිත් නිශාන්ත
COMMENTS