ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන ඇමසන් වනයෙන් වර්ග කිලෝමීටර 46,000 ක් (වර්ග සැතපුම් 17,800 ක්) තරම් අති දැවැන්ත රක්ෂිත ප්‍රදේශයක් රත්තරන් ලබා...
ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන ඇමසන් වනයෙන් වර්ග කිලෝමීටර 46,000 ක් (වර්ග සැතපුම් 17,800 ක්) තරම් අති දැවැන්ත රක්ෂිත ප්‍රදේශයක් රත්තරන් ලබාගැනීම පිණිස ආකර කැණීම ට ලබාදීමට බ්‍රසීල රජය තීරණය කර ඇත. පරිසරවේදීන්ගේ අති මහත් කැළඹීමට සහ විවේචනයට ලක් වී ඇති මෙම තීරණය අනුව අමාපා සහ පාරා යන ජනපද දෙකම මෙම ව්‍යාපෘතිය සඳහා බිලිවීමට නියමිත ය.
කෙසේ නමුත් බ්‍රසීල ආණ්ඩුව පවසන්නේ මෙම ප්‍රදේශය තුළ පිහිටා තිබෙන රක්ෂිත සහ ආදිවාසී වටිනාකම්වලින් යුත් භූමි 9 ක් තවදුරටත් රක්ෂිත තත්වයෙන්ම පවත්වාගෙන යන බවයි. බ්‍රසීලයේ පතල් කැණීම් හා බලශක්ති අමාත්‍යාංශය ද මේ සහතිකයම ලබා දී තිබේ. නමුත් එය කොතෙක් දුරට ප්‍රායෝගිකදැයි පරිසරවේදීහු ප්‍රශ්න කරති. ජනපති මිඛෙල් ටෙමර් විසින් සිදුකළ ආඥාවක් අනුව පසුගියදා තඹ නිධි බහුල රක්ෂිත වන ප්‍රදේශයක් ද තවදුරටත් රක්ෂිතයක් නොවන බවට නිවේදනය කෙරිණි. ඩෙන්මාර්කය තරම් විශාල භූමි භාගයක් වූ මෙයින් 30% ක පමණ බිම් කඩක් රත්තරන් සහ වෙනත් වටිනා ලෝහ කැණීම සඳහා වෙන් කර තිබේ.
පසුගිය කාලය තුළ ඇමසන් වනය ආශ්‍රිතව පවතින රත්තරන් නිධි සහ වටිනා ලෝහ සම්බන්ධයෙන් අති දැවැන්ත උනන්දුවක් ඇති වී තිබෙන අතර, බ්‍රසීල රජය පරිසර ආරක්ෂාව පසෙක තබා එයින් උපයාගත හැකි ධන සම්භාරය පිළිබඳ උනන්දු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයට අහිමි වෙන්නට යන්නේ ‘ලෝකයේ පෙණහැල්ල’ යනුවෙන් විරුදාවලිය ලත්, ලෝකයේ ජෛව විවිධත්වයෙන් අනූනම වැසි වනාන්තර පද්ධතියයි.
- අමාලි ජයවීර
COMMENTS