බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් නිසා බරපතළ විවේචනයට ලක් වී ඇති විදේශ ඇමැති රවී කරුණානායක ඇමැති ධුරය වෙනුවට පක්ෂය තෝරා ගැනීමට කටයුතු කරනු ඇ...
බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් නිසා බරපතළ විවේචනයට ලක් වී ඇති විදේශ ඇමැති රවී කරුණානායක ඇමැති ධුරය වෙනුවට පක්ෂය තෝරා ගැනීමට කටයුතු කරනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.
පසුගිය 03 වන දා ඒකාබද්ධ විපක්ෂය මඟින් රවී කරුණානායක ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදීමත් සමඟ මේ තීරණය ගැනීමට ඇමැතිවරයා තීරණය කර තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංගයට පක්ෂව අත ඔසවන බව පවසා තිබේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන් රැසක් විශ්වාසභංගය දිනයේ පාර්ලිමේන්තුවට සහභාගිවීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර ද රවී කරුණානායක ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර, එහි දී ආණ්ඩුවේ තුනෙන් දෙකක අතිබහුතරයකින් එය පරාජය කෙරිණි. එහෙත් මේ අවස්ථාවේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සමාජයේ ඇති වී තිබෙන බරපතළ කතාබහත් සමඟ ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන් ද රවී කරුණානායක බේරාගැනීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත.
මේ තත්ත්වය නිසා රවී කරුණානායක ඇමැතිවරයා තීරණය කර ඇත්තේ ඇමැති ධුරයෙන් ඉවත් වී ආණ්ඩුවේ ගෞරවය සහ එක්සත් ජාතික පක්ෂයේ ගෞරවය ආරක්ෂා කර දීමට බව අදාළ ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ඇමැතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ අතර ඇමැතිවරයා කඩිනමින් අදාළ තීරණය ගතහොත් නවීන් දිසානායක නව විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ද කතා බහක් ඇති වී තිබේ. ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නවීන් දිසානායක ඇමැතිවරයා විදේශ ඇමැති ධුරයට යෝජනා වී ඇති බවත්, තවත් පාර්ශ්වයකින් මහින්ද සමරසිංහ ඇමැතිවරයාගේ නම ද යෝජනා වී ඇති බවත් ය. එහෙත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි පැවසෙන්නේ මහින්ද සමරසිංහ ඇමැතිවරයා වරාය ඇමැති ධුරයෙන් ඉවත් කළ නොහැකි බව ය.
-පරාක්‍රම දිසානායක
COMMENTS