ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කලේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රිපාල...

ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කලේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) පස්වරුවේ කොළඹ ගලදාරි හෝටලයේ පැවති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික සැලසුම්කරණ සම්මාන උළෙල අමතමිනි.
කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා දැනට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව තිබෙන අතර කර්මාන්ත සංවර්ධනය සඳහා රජයේ වගකීම් ද මීට වඩා ඉහළින් ඉටුකිරීම ජාතික ආර්ථික සභාව පිහිටුවීමේ අරමුණු බව ජනාධිපතිවරයා කියා සිටියා.
ජාතික ආර්ථික සභාව පිහිටුවීමේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග මෙන්ම දේශීය ආර්ථික විශේෂඥයින් පමණක් නොව විදේශගතව සේවය කරන ලාංකීය විශේෂඥයින් සමග ද සාකච්ඡා කල බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
රටේ අනාගතය සඳහා විධිමත් සහ කාර්යක්ෂම වැඩපිළිවෙළක අවශ්‍යතාවය ඉටු කරමින් ආරම්භකළ ජාතික ආර්ථික සභාවේ කටයුතු සඳහා සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ දේශීය කර්මාන්තවලට සහ දේශීය ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන හෝ තර්ජනයක් එල්ලවන කිසිදු ආකාරයේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට රජය අත්සත් නොතබන බවයි.
ව්‍යාපාර ක්ෂේත‍්‍රයට අයත් නොවන එක්තරා පිරිසක් විසින් ව්‍යාපාරික ප‍්‍රජාවට වැරදි තොරතුරු ලබාදෙමින් ඔවුන් බියවද්දමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිවරයා රජය විදේශ රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹෙන්නේ දේශීය කර්මාන්තය ද රැක ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය මත පිහිටා බව අවධාරණය කළා.
දේශීය කර්මාන්තයේ සංවර්ධනය සඳහා පසුගිය කාල සීමාව තුළ ලැබුණු රාජ්‍ය අනුග‍්‍රහය ප‍්‍රමාණවත් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා දේශීය කර්මාන්ත සංවර්ධනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරි ගැන්වීම සහ ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපයක තුළ කි‍්‍රයාවට නංවන බව ද ප‍්‍රකාශ කළා.
COMMENTS