ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලයක් තමනට නොමැති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ...
ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බලයක් තමනට නොමැති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
ටෙලිකොම් ආයතනයේ සිදු ව ඇති රුපියල් මිලියන 800ක වංචාවක් සම්බන්ධයෙන් වන ලිපියක් පදනම් කරගෙන මුද්‍රිත මාධ්‍යයක් ඔස්සේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා වෙත එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.
ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළ යටතේ ක්‍රියාත්මක වන සමාගමක් බවත් ඉන් 26%ක කොටස් ප්‍රමාණයක් මැලේසියානු සමාගමක් සතු වන බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා සමාගම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයට මිස ඇමැතිවරයාට නොවන බව ප්‍රකාශ කල අතර ටෙලිකොම් සමාගමේ ක්‍රියාකාරකම් සඳහා නිදේශයක් හෝ ලබාදීමේ අයිතියක් තමන් සතු නොවන බව ද පැවසිය.
ස්වාධීන කොමිෂන් සභා කාර්යක්ෂම කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා යම් සිදුවීමක් සම්බන්ධයෙන් පත්කරනු ලබන ජනාධිපති කොමිෂන් සභා හරහා පරීක්ෂණ කඩිනම් බව සිතන්නේ නම් කොමිෂමක් පත් කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.
පසුගිය කාලයේ දී ටෙලිකොම් ආයතනය වෙතින් දුරකතන සම්බන්ධතා ලබාදීමට අති විශාල රැහැන් තොග භාවිත කළද වර්තමාන තාක්ෂණ දියුණුවත් සමග එම භාවිතයන් අවම වී ගොස් ඇති හෙයින් ටෙලිකොම් ආයතනය සතු තඹ රැහැන් අළෙවි කිරීමට තීරණය කළ බවත් ඒ සඳහා ආයතනයේ පිළිගත් ක්‍රමවේදය අනුගමනය කළ බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි ලයනල් ඉඹුලාන මහතා පැවසීය.
COMMENTS