වත්මන් ආණ්ඩුවේ අමුතුවෙන් කියන්නට තරම් හොඳක් නොමැත. රටේ ජනතාවට නම් මේ දෙවසරට කලින් තිබුණු දස වසරට වඩා මේ දෙවසර මූසල පාටක් පෙනෙන්නටත් නැ...
වත්මන් ආණ්ඩුවේ අමුතුවෙන් කියන්නට තරම් හොඳක් නොමැත. රටේ ජනතාවට නම් මේ දෙවසරට කලින් තිබුණු දස වසරට වඩා මේ දෙවසර මූසල පාටක් පෙනෙන්නටත් නැත. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට නම් අනිවාර්යයෙන් ම මේ දෙවසර මූසලය. එහි විවාදයකුත් නැත.
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට එදා විඳපු සැප දැන් නැත. රාජපක්ෂලාට එදා මෙන් ඕනෑ ඕනෑ හැටියට මිනීමරන්නට, පැහැරගෙන යන්නට, අතුරුදන් කරවන්නට දැන් බැරිය. එදා මෙන් සිය ගණන් ඇච්චන් බැච්චන් පිරිවරා ලෝකය වටේ සවාරි යන්නට බැරිය. එදා මෙන් මහා පරිමාණ ණය ව්‍යාපෘති වලින් මහා පරිමාණ කොමිස් කුට්ටි එන්නේ නැත. ඒ මදිවාට එහෙන් නඩුය. මෙහෙන් පොලිස් විමර්ශනය. ඉඳ හිට වැලිකඩත් තප්පින්නට වෙනවාය. බටු ඇට තරම් කොල්ලනුත් ෆේස්බුක් එකෙන් විහිළු කරනවාය. කවදා හිතපු දේවල්ද ? ඇත්තෙන් ම කීවොත් රාජපක්ෂලාට මේ දෙවසර කොතරම් මූසලදැයි අපිට හිතාගන්නටවත් බැරි තරම් ය.
රාජපක්ෂලාටත් එහෙම මූසල වෙද්දී රාජපක්ෂ ගෝලයින්ට කොතෙක් නම් මූසල වන්නට ඕනෑද ? එදා මෙන් ඩිෆෙන්ඩර් පිරිවරාගෙන ඇමති වාහන වලින් යන්නට, ඇමති සැප විඳින්නට නැත. නිල නිවාස නැත. ලක්ෂ ගණන් ලයිට් බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. රට සවාරි නැත. එහෙන් මෙහෙන් ලැබුණු කොමිස් පාරවලුත් නැත. එකට කාගෙන බීගෙන සිටි එවුන්ගෙනුත් බාගයක් ආණ්ඩුවට පැන ඇති බැවින් උනුත් නැත. ළඟ හිටපු ගෝල බාලයිනුත් නැත. ඒවා නැති වුණාට අල්ලස් කොමිසමේ කේස් ඇත. උසාවි ගාණේ නඩු ඇත. මහින්ද විතරක් නොව ශිරන්ති CIDයට යන විටත් පාරවල් ගාණේ අව්වේ තපින්නටත් සිදුව ඇත. ඔක්කොමත් හරි කවුරුත් ගණන් ගන්නෙත් නැත. මූසල කමක මහත !
තමුන්ගේ දුක දන්නේ තමුන්ය. ඒ නිසා එදාට ලිප්ටන් වට රවුම වටේට එකතු වී 'සිඤ්ඤෝරේ' සිංදුව කියා, හඬා වැළපි, හිතේ තරහා යන්නට කාට හෝ බැණ බැණ හිත සැහැල්ලු කොරගත්තාට එක අතකින් මොනවත් කියන්නත් බැරිය. ඒකාබද්ධයෝ ද මනුස්සයෝම නොවුනත් ඒ වගේවත් කියා හිතමුය.
COMMENTS