ප්‍රංශයේ රැකියාවල නියුතු වන්නන් සඳහා එසේත් නැතිනම් වැඩකරන ජනතාව සඳහා නව නීතියක් හඳුන්වා දී තිබෙන බව ලෝක ආර්ථික සංසදය සඳහන් කරයි. මෙය හැඳි...
ප්‍රංශයේ රැකියාවල නියුතු වන්නන් සඳහා එසේත් නැතිනම් වැඩකරන ජනතාව සඳහා නව නීතියක් හඳුන්වා දී තිබෙන බව ලෝක ආර්ථික සංසදය සඳහන් කරයි. මෙය හැඳින්වෙන්නේ රයිට් ටු ඩිස්කනෙක්ට් ලෝ (Right to Disconnect Law) යනුවෙනි. සරලව කියන්නේ නම් මේ නීතිය අනුව දැන් රාජකාරි වේලාවෙන් බැහැරව රාජකාරි ඊ මේල් පරීක්ෂා කරමින් ඒවාට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය නැත. තවද කාර්යාලයෙන් නිවාඩු දිනයන්ට ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නට ද අවශ්‍ය නැත. එසේ කරන ලෙසට සේවාදායකයන්ට බල කරන්නට ද කිසිම හාම්පුතෙකුට හැකියාවක් නැත.මෙය වනාහී රැකියාවේ පීඩනයෙන් ඩිස්කනෙක්ට් වී පුද්ගලික ජීවිතය පුද්ගලිකව ගත කරගැනීමේ මාහැඟි අයිතියයි.
ප්‍රංශයේ කම්කරු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ නීතියෙන් බලාපොරොත්තු වන්නේ විවේක කාල පරිච්ඡේදවලට ගරු කිරීම බවයි. එනම් සිය රටේ කම්කරුවන්ට රාජකාරි වේලාව තුළ තිබෙන විවේක කාලපරිච්ඡේදවලදීත් ඉන් පිටත නිවාඩු දිනයන්හිදීත් සම්පූර්ණයෙන්ම රැකියා මානසිකත්වයෙන් මිදී ජීවත් වීමට ඇති අයිතිය මෙමගින් සාක්ෂාත් කෙරෙයි. පුද්ගලික ජීවිතය සඳහා ඇති අයිතිය ගරු කරමින් නව නීතිය හඳුන්වා දුන් බව ද ප්‍රංශ කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නව නීතිය අදාළ වන්නේ සේවකයන් 50 දෙනෙකුට වඩා සේවයේ නියුතු සමාගම්වලට ය.මෙහිදී කාර්යාලයේ නැති වේලාවට ඊමේල් ගනු දෙනු කිරීමට අදාළ මාර්ගෝපදේශනයන්ට යටත් වී සිය පුද්ගලික ජීවිතය භුක්ති විඳීමේ නිදහස ඔවුන්ට ලැබෙයි. මෙයට අනුගත වෙමින් ඇතැම් ප්‍රංශ සමාගම් දැනටමත්, කාර්යාලයීය වේලාවෙන් පසුව ඊමේල් පරීක්ෂා කිරීම සිය සේවකයන්ට තහනම් කර තිබේ. තවත් සමාගම් ඊ මේල් පද්ධති රාත්‍රී කාලයට වසා දැමීමට ද කටයුතු කර තිබේ. මීට පෙර ප්‍රංශයේ වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුනේ ඩිජිටල් තාක්ෂණය හේතුවෙන් ලෝකය රට තුළ අනවශ්‍ය රැකියා වගකීම් සමූහයක් උත්පාදනය වී තිබෙනා බවයි. මේ අනුව මෙම නව නීතිය එම ගැටලුව ද සාර්ථක ලෙස ආමන්ත්‍රණය කිරීමක් වනු ඇත.
2017 වසරේ ප්‍රංශයේ ආර්ථිකය සියයට එකයි දශම හතකින් වර්ධනය වී ඇති බව ද මේ අතර වාර්තා වේ.මේ අනුව නව නීතිය එම වාසිය ජනතාවට අත්කර දීම පිණිස ගත් තවත් සමාජ සුබසාධන පියවරක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.
මේ පහසුකම ප්‍රංශයේ කම්කරු ජනතාවට ලැබෙන්නේ ඔවුන් සතියකට වැඩ කළ යුතු පැය ගණන ඉතා වැඩි නිසා යැයි ඔබට විටෙක සිතෙන්න ට පුළුවන. අනේ නැත! ලංකාවේ සාමාන්‍ය පුද්ගලික අංශ සේවකෙයක් වැඩ කළ යුතු අවම පැය ගණන පැය 40ක් හෝ 45 ක් වෙතත් ප්‍රංශයේ මෙම පැය ගණන පැය 35 ක් පමණකි. මේ අනුව නව පහසුකම ලැබෙන්නේ සතියකට පැය 35 ක් සේවය කරන ජනතාවකට ය!
අන්න රටවල්!!
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS