ඉන්දියාවේ කේරළ, කර්‍ණාටක ජනපදවල මායිම් වැසියන් අතර නිතරම සිදුවන ජල ගැටුම් මෙන්ම මැදපෙරදිග කලාපයට දේශපාලනික වැදගත් සාධකයක් වන ජලය නිසා ඊශ්...
මිනිසාට ජලය මෙතරම් වැදගත් සාධකයක් වුවත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි සිටින ජනතාව මෙම ජල ගැටලුවෙන් දැඩි පීඩාවට පත්ව සිටී. එය බොහෝ විට සිදුව ඇත්තේ නිසි ජල කළමණාකාරිත්වයක් නොමැති වීම හා බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වීම කනගාටුවට තුඩු දෙන්නකි.
උඩ සිට පහලට ගලන ගඟ මේ කිසිවක් නොතකයි. මේ ප්‍රදේශවල දේශපාලකයින් විසින් මේ ගංඟාවල් වැව් අමුණුවල තිබෙන ජලය මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ලබා දෙමින් අහිංසක මිනිසුන්ගේ ජීවිත වැළලීමට කටයුතු කර තිබේ. ජලයේ ඇති වැදගත්කම නම් අවශ්‍ය වේලාවට අවශ්‍ය තැනට, අවශ්‍ය ප්‍රමාණයට එය ලැබීම ය. මෙසේ නොවේනම් ජලය ප්‍රශ්ණයක් වේ. ලංකාවේ රජවරු වැව් තැනුවේ මේ නිසා ය. නමුත් අද බොහොමයක් දේශපාලනඥයින්ට ඒ කිසිවකට වඩා තමාට ලැබෙන කොමිස් මුදල අගනේ ය .
ඒ ආකාරයෙන් බලධාරීන්ගේ නොසැලකීම හා අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා වසර 70 ක කාලයක සිට පානීය ජලය නොමැතිව දුක් විඳින මිනිසුන් පිරිසක් ගැන අසන්නට ලැබෙන්නේ පසුගිය කාලය තුල මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය ප්‍රදේශයෙනි .
කඩවූ පොරාන්දු
ප්‍රදේශයේ ඇති වැව් අමුණු තුල විශාල ජල ව්‍යාපෘති ආරම්භ කර එම ජලය වරාය, ගුවන්තොටුපොළ වෙත මෙම ගම්මාන සිදුරු කරමින් ජල නල එලා රැගෙන ගියත් මේ අහිංසක මිනිසුන්ගේ ජල අවශ්‍යතාව පාලකයින් විසින් සපුරා දී නොමැත. එම මිනිසුන්ට හැමදාම ඔවුන්ගෙන් ලැබුනේ ජලය ලබා දීම පිළිබඳ දේශපාලන පොරොන්දු පමණි
හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ තම්මැන්නාව ,බඳගිරිය ,ජුල්ගමුව , යහන්ගල බටහිර , යහන්ගල නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් පහක (5) පවුල් 1650 ක පුද්ගලයින් 6500 කට අධික ප්‍රමාණයක් මෙම පානීය ජල ගැටලුව හේතුවෙන් අසරණ තත්වයට පත්වී තිබේ .
2002 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ආධාර හා 20% ක ප්‍රජා දායකත්වය මත ඉදිකෙරුණු බඳගිරිය ප්‍රජා සංවර්ධන කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කළ ප්‍රජා ජල ව්‍යාපෘතිය තුළින් යම් පිරිසකට ජලය සපයන ලදී. නමුත් මීට වසර 03කට අධික කාලයක සිට එම ජලය ද පානය කිරීමට නුසුදුසු තත්වයේ පවතින බව බඳගිරිය ප්‍රජා සංවර්ධන කේන්ද්‍රයේ සභාපති ටි.එච්. ප්‍රියන්ත පෙන්වා දෙයි .
“ මෙම ජල ව්‍යාපෘතිය වසර 15 ක් පමණ කාලයක් ක්‍රියාත්මක වෙලා මේ වන විට පවතින්නේ අක්‍රිය මට්ටමේ. මොකද බඳගිරිය වැවේ ජල මට්ටම ඒ සඳහා ස්ථාවර තත්ත්වක පවත්වාගෙන යන්න බැ. මොකද ප්‍රදේශයේ සිදුකරන කෘෂිකාර්මාන්ත කටයුතුත් එක්ක . මේ වැව ස්ථිර ජලාශයක් නොවේ. දෙසැම්බර් පිරිලා අගෝස්තු හිඳෙනවා. ඒ නිසා අන්දරගස්යාය ව්‍යාපෘතිය ගෙනල්ලා ගමේ පොදු ප්‍රශ්නය විසඳා දිය යුතුයි. මෙම ජලය කිසිසේත් මිනිසුන් හට පානය කිරීමට නොහැකියි .”
“අපේ ගම්මානයේ පවුල් 1600කට මෙතෙක් කල් ජලය ලබා දුන්නේ ප්‍රජා ජල වැඩසටහනකින්. මේ ප්‍රජා ජල වැඩ සටහන වසර 12 ක් පමණ ගිහින්. දැන් අක්‍රිය වෙලා තියෙන්නේ ඒ වැඩසටහන තුල මිනිසුන්ට පිරිසිදු වතුර දෙන්න බෑ. දැන් මේ පද්ධතියෙන් වතුර පිල්ටර් කරන්න බැරි නිසා දැන් මඩ වතුර එන්නේ. ඒ නිසා විවිධ රෝගාබාධත් ඇතිවෙලා තියෙන්නේ. මේකේ පෙරනය අලුත් වැඩියා කරන්න රුපියල් කෝටියකට වඩා යනවා. මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයින් සමග මෙන්ම රජයේ සෑම නිලධාරියෙක් සමගම කතා කළා. එයට විසඳුමක් විදියට ලුනුගම්වෙහෙරින් පවුල් 500කට වතුර දෙන්නත් ඉතිරි පවුල් 1000ට වලව ව්‍යාපෘතියෙන් වතුර දෙන්නත් තීරණය කළා. ඒ අනුව වලව ව්‍යාපෘතියේ ජල නල එළීම අපි ඉවර කළා. නමුත් මොන යම් හේතුවක් මත හෝ අපිට වතුර ලැබුනෙ නෑ” යැයි එස් ප්‍රියන්ත පවසයි.
වකුගඩු රෝගයෙන්ද ජනතාව වෙලාගෙන
අපිරිසිදු ජලය භාවිතා කිරීම නිසා ප්‍රදේශයේ ජනතාවට වකුගඩු රෝගය වැළදීමේ ප්‍රවණතාවයක් පවතින බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වූ බව බඳගිරිය ගොවි සමතියේ ලේකම්වරයෙකු වන මුණසිංහ මහතා පවසයි . විශේෂයෙන්ම ප්‍රජා ජල ව්‍යාපෘතියට ජලය ලබා ගන්නා බඳගිරිය වැව පෝෂණය වෙන්නේ තවත් වැව් 17 කින් පැමිණෙන අපවහන ජලය එකතුවීමෙනි . එම නිසා බඳගිරිය වැව් ජලය තුල කෘමි නාෂක මෙන්ම බැර ලෝහ ද අඩංගු බව රුහුණ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය මංගල ද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වූ බවත් පුද්ගලයින් 150 ක් තෝරා සිදු කරන ලද පරීක්ෂණවල දී ඔවුන් අතරින් 19 දෙනෙකු කෘෂිකාර්මික වකුගඩු රෝගී ලක්ෂණ තිබෙන බවත් වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බව මුණසිංහ පෙන්වා දෙයි .
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහාචාර්ය මංගල ද සිල්වා මහතා මෙසේ පැවසීය. “ අපි වසර දෙක තුනක පමණ කාලයක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල අපි උපකල්පනය කළා නිධන්ගත වකුගඩු රෝගය සීග්‍රයෙන් පැතිර යන බව. එහි ප්‍රතිපලයක් ලෙස තමයි බඳගිරිය ප්‍රදේශයේත් අඟුණකොලපලැස්ස ප්‍රදේශයේත් මෑත කාලය වන විට වකුගඩු රෝගීන් වර්තා වෙන්න පටන්ගත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පාලක පරීක්ෂණ සඳහා නියැදි ලබා ගෙන තිබෙන්නේද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් . මේ පරීක්ෂණ ද උඩු යටිකුරු වෙනවා. මොකද මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගීන් මේ වනවිට වාර්තා වෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ ජල මුලාශ්‍ර පරීක්ෂාවට ලක් කළේ. ඒ පර්යේෂණයට අනුව හම්බන්තොට බඳගිරිය ජලමුලශ්‍ර භාවිතයට සුදුසු නැති මට්ටමක පවතින බව තහවුරු වුනා. අපි පසුව පවුල්100 තෝරාගෙන වකුගඩු රෝගය පිළිබඳ පරීක්ෂාවකට ලක් කළා. එහි දී අපට තහවුරු වී ගියේ එයින් 15 ත් 20 ත් අතර ප්‍රමාණයකට වකුගඩු රෝගී ලක්ෂණ තිබෙන බවයි.”
මේ ආකාරයෙන් තම ප්‍රදේශයට කාලයක් තිස්සේ පවතින පිරිසිදු පානිය ජල ගැටලුවට ස්ථිර විසඳුම් ඉල්ලා ප්‍රදේශයේ ජනතාව එක්ව බලධාරීන්ට ඉල්ලීම් කර ඇති අතර විරෝධතාවයන් කීපයක් ද පවත්වන ලදී. එහි දී ප්‍රදේශයේ ජනතාව 2015.11.12 දින හම්බන්තොට පල්ලේ මළල ප්‍රදේශයේ විරෝධතාවයක් ද පවත්වන ලදී. විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා විරෝධතාකරුවන් කීපදෙනෙකු ද තුවාල සිදුවිය. එමෙන්ම පුද්ගලයින් 12 කට අධික ප්‍රමාණයකට සිරගත වීමට ද සිදුවිය.
පල්ලියේ පියතුමාගේ පිහිට
තමන් ඇතුළු ගම්වාසින් පත් වී ඇති පීඩාව ගැන අදහස් දැක්වූ අශෝකා රංජනී “ දැනට මාස තුනක පමණ කාලයක සිට මේ ප්‍රදේශයට පවතින අධික නියඟය නිසා අපිට කොහොමටවත් බොන්න වතුර නෑ. මීට කලින් අපිට බොන්න වතුර නැති වුනාම උද්ඝෝෂණ කළා. ඒ වෙලාවේ ලුණුගම්වෙහෙර කලාපයෙන් පොදු ක්‍රම කීපයක් දාලා ගමට වතුර දුන්නා. නමුත් ඒකත් එන්නේ දවස කීපයකට පැය දෙකක් විතර, ක්‍රම කීපයකට පමණයි. මම ඉන්නේ බඳගිරිය ජන උදාන ගම්මානයේ ජූල් ගමුව වසමේ .මේ වසමේ ඉන්න කාටවත් බොන්න වතුර නෑ. අපි සිංහල බෞද්ධ වුනත් අපිට මේ දවස්වල වතුර ටිකක් හරි බවුසරයෙන් ගෙනල්ලා දෙන්නේ ලුණුගම්වෙහෙර දේවස්ථානයේ රන්ජිත් ආනන්ද පියතුමා විතරයි. අන් කිසිවෙක් අපගේ මේ දුක බැලුවේ නෑ . අපි කියන්නේ උද්ඝෝෂණවල දී ගහන වතුර ටික හරි අපේ ගමට ගෙනැල්ලා දෙන්න කියලා.”
“වතුර නැතිව අපේ ළමයින් පාසලට යවන්න විදියක් නැතිව ඉන්නේ. ඒ අයට විවිධ රෝගාබාධ ඇතිවෙනවා. සමහර දවස්වලට රෙදි හෝදන්න විදියක් නැතිව කිලිටි ඇදුම් ඇඳගෙන යනවා. අපිට බොන්න වතුර ටික දෙන්න කෙනෙක් නෑ. ඡන්දේ කාලෙට ආයුබෝවන් කියලා ඡන්දය ගන්න එක විතරක් මෙතෙක් සිද්ධ වුණේ” යැයි රුපා කාන්ති පවසයි.
“මේ ගමේ මේ ජල ප්‍රශ්නය බොහෝ කාලයක සිට තියෙන එකක්. නමුත් කවුරුවත් මේකට ස්ථිර විසඳුමක් දීලා නෑ. ඒ නිසා විශාල පිරිසක් පිඩාවට පත්වෙලා ඉන්නවා .ඒ නිසා මේ ගමේ සිංහල බෞද්ධ ජනතාව සිටියත් ඒ සියල්ලම අමතක කරලා මේ ගමේ මිනිසුන්ට මට හැකි පමණින් ජල බවුසර් දින කීපයක සිටම ලබා දෙනවා. නමුත් මේක මට හැම දාම කරන්න බෑ .ඒ නිසා මේ ගමේ මිනිසුන්ට සදා කාලිකවම කිසිදු භේදයකින් තොරව මේ ප්‍රශ්නය විසඳා දෙන ලෙස ගෞරවණීය දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ” බව රන්ජිත් ආනන්ද පියතුමා කියා සිටි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS