ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ඇති වී තිබෙන මත ගැටුම් නිරාකරණය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් ජනාධිපති ...
ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර ඇති වී තිබෙන මත ගැටුම් නිරාකරණය කර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරගේ නිවසේ දී පවත්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.
ආණ්ඩුවට එල්ල වී ඇති අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ වැදගත්කම පිළිබඳව මේ සාකච්ඡාවේ දී ආණ්ඩුවේ නායකයන් දෙදෙනා ම අවධාරණය කර ඇත. පසුගිය කාලයේ විවිධ අවස්ථාවල දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීම පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ අවධානය යොමු කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක එස්.එම්.මරික්කාර්ගේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ දී ද මෙසේ එජාප මහ ලේකම්වරයා විසින් ශ්‍රීලනිපය විවේචනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බංග්ලාදේශයේ සිට මලික් සමරවික්‍රම ඇමැතිවරයාගෙන් විමසා තිබිණි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඩිලාන් පෙරේරා ඇමැතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස විවේචනය කිරීම පිළිබඳව ද එජාපයේ බහුතරයක් දැඩි අප්‍රසාදය පළ කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. මේ කරුණු සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේ දී ආණ්ඩුවේ නායකයන් දෙදෙනා පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර, ඉදිරියේ දී එවැනි පරස්පර තත්ත්වයන් මතු නොවන පරිදි කටයුතු කිරීමට ද නායකයන් දෙදෙනා එකඟ වී ඇතැයි අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එසේ ම ඒකාබද්ධ විපක්ෂය මඟින් ආණ්ඩුවේ කටයුතු අඩාල කිරීම සඳහා සැලසුම්සහගතව සිදු කරන වැඩවර්ජන ඇතුළු අනෙකුත් කටයුතුවල දී දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරීමටත්, එමඟින් ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි නව විශ්වාසයක් ඇති කිරීමටත් නායකයන් දෙපළ තීරණය කර තිබේ. 2015 ජනවාරි 08 වනි දා නව ආණ්ඩුව පිහිටුවීමේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු අතර මූලික වූ වංචා-දූෂණ සහ අපරාධ සිදුවීම්වලට අදාළ විමර්ශන කඩිනම් කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ රාජ්‍ය ආයතන සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද මේ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇතැයි අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසීය.
-පරාක්‍රම දිසානායක
COMMENTS