එහිදී මහාචාර්යවරයා පවසා තිබෙන්නේ මෙම නඩුවේ මහ මොළකරු මෙන්ම අටවන විත්තිකරු වන ස්විස් කුමාර් නමැති අය පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් සහා...
එහිදී මහාචාර්යවරයා පවසා තිබෙන්නේ මෙම නඩුවේ මහ මොළකරු මෙන්ම අටවන විත්තිකරු වන ස්විස් කුමාර් නමැති අය පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් සහාය වූ බවයි. එවකට යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අමතා මෙම මිනීමැරුමට අදාල මහ මොළකරු ඉන්නා තැන තමන් දන්නා බවත් ඔහුගේ ජීවිතය අනතුරක ඇති හෙයින් පොලිස් ආරක්ෂාව ලබාදී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස තමන් ලලිත් ජයසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් මහාචාර්ය තමිල්මාරන් පවසා ඇත.
ඉන් අනතුරුව තමා පුංකුඩුතිව් වෙත ගිය අවස්ථාවේදී එම ගම්මානයේ ජනතාව කුපිත වී තමන් සිරකර තැබූ බවත් එවිට තම ඉල්ලීම පිට ලලිත් ජයසිංහ මහතා පොලිස් කණ්ඩායමක් සමග පැමිණ තමා බේරාගත් බව මහාචාර්ය තමිල්මාරන් පිළිගෙන තිබේ.
තමා විසින් පොලීසිය වෙත බාරදුන් ස්විස් කුමාර් කොළඹ බලා පලාගියේ කවරාකාරයෙන්දැයි කීමට තමා නොදන්නා බව මහාචාර්යවරයා සඳහන් කර ඇත.
සාක්ෂිය පටන් ගත් මුල් අවස්ථාවේදී පැමිණිල්ලේ මූලික සාක්ෂි මෙහෙයවීම එතරම් සහායක් නොදක්වා ඇති තමිල්මාරන්ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එසේ නොකොට පැමිණිල්ලට සහාය දක්වන ලෙසට තරයේ අවවාද කර ඇත.
මෙම නඩුවේ අටවන විත්තිකරුට රැකවරණ සැපයූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම්කොට නැති අතර, මෙම නඩුවේ සාක්ෂිවලින් හෙළිවන කරුණු මත නීතිපතිවරයා විසින් ලලිත් ජයසිංහ මහතාට කෙලින්ම අධි චෝදනා බාරදීමේ සූදානමක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මහාධිකරණයේ හදවත උණසුම් වූ මොහොතක් !
පෙරේදා (03) විද්‍යා නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි ලබාදුන් එකොළොස් හැවිරිදි දරුවෙකු සාක්ෂිය ආරම්භ කොට විනාඩි කිහිපයක් යත්ම සාක්ෂි කූඩුව මත ක්ලාන්ත වී ඇදවැටී ඇත. එම දරුවාගේ සාක්ෂිය ඉතා වටිනා එකක් වන්නේ මෙම ඝාතනය සිදුවන විට නව හැවිරිදි වියේ පසුවූ ඔහු දූෂණය සිදුවූ ආකාරය සහ එහි සිටි පිරිස් දෑසින්ම දැක ඇති හෙයිනි. තමා දුටු දේ දරුවා විසින් සිය මවට පැවසීමෙන් අනතුරුව මව එකී කරුණු පොලීසියට පවසා තිබේ.
සාක්ෂි කූඩුවේ ක්ලාන්ත වී ඇද වැටුණු දරුවා අසලට පැමිණි පියා ඔහුව වත්තන් කරගෙන යද්දී මහාධිකරණය විනිසුරුවරුන් පියාගෙන් අසා ඇත්තේ දරුවා අසනීපයකින් පෙළෙන්නේද යන්නයි. එවිට පියා පවසා ඇත්තේ 'නෑ සර්, පොඩිඑකා උදේට කාලා නෑ.... කන්ඩ දෙයක් අරන් දෙන්න මගේ ලඟ සල්ලි තිබුණෙ නෑ...' කියාය. උසාවියේ රැස්ව සිටි අය ඉහළට ගත් හුස්ම නතර වූවා සේ හැඟිණි.
වහාම ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා විනිශ්චයාසනය මත රැඳී හිඳිමින්ම තම පසුම්බිය ගෙන මුදල් නෝට්ටු කිහිපයක් උසාවියේ තෝල්කවරයා අත තැබුවේ එය පියාට ලබාදී වහාම දරුවා රැගෙන ගොස් කෑම ලබාදෙන ලෙස පවසමිනි. එතෙක් නඩුව පැයකට ආසන්න කාලයක් කල්තැබීමට විනිසුරු මඩුල්ල වහාම පියවර ගත්තේය.
හොඳින් කා බී වතුර බෝතලයක් ද අතැතිව සිනාසෙමින් නැවත අධිකරණයට පැමිණ ඇති දරුවා කිසිදු විඩාවකින් තොරව ඉතාමත්ම පැහැදිලි, චතුර ආකාරයට සාක්ෂි ලබා දී තිබේ. ඔහුගේ සාක්ෂිය කෙතරම් ප්‍රබල වීද යත් ඔහුගේ සාක්ෂිය අවසානයේදී පැමිණිල්ල අමතා ඇති මහාධිකරණ විනිසුරුවරුන් පවසා ඇත්තේ 'තවත් මෙතනින් එහාට සාක්ෂි මෙහෙයවීමේ අවශ්‍යතාවයක් තිබේද' යන්නයි.
කෙසේ වෙතත් විද්‍යා නඩුව අද සහ හෙට ද යාපනය මහාධිකරණයේ විභාගවෙමින් පවතී. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 34 දෙනෙකු කැඳවීමට නියමිත වේ.
COMMENTS