ඇගේ මිතුරු මිතුරියන්ට අනුව ප‍්‍රහාරයෙන් පසු රෝහලට ඇතුළත් කළ පළමු පිරිස අතර ඇය ද වූවාය. ඈ මියෙන මොහොතේ මව ඇගේ ඇඳ අසලින්ම වූවාය. නමුත් මරු ...
ඇගේ මිතුරු මිතුරියන්ට අනුව ප‍්‍රහාරයෙන් පසු රෝහලට ඇතුළත් කළ පළමු පිරිස අතර ඇය ද වූවාය. ඈ මියෙන මොහොතේ මව ඇගේ ඇඳ අසලින්ම වූවාය. නමුත් මරු විසින් ඇගේ අත පතා සිටි නිසා ඒ මව්ට එතැන කරන්නට දෙයක් තිබුණේ නැත. ඉතින් ඈ සදහටම යන්නට ගියාය.
මියෙන විට ඇගේ වයස අවුරුදු 18 කි. ඇගේ නම ජෝර්ජියානා කැලෑන්ඩාය.
‘ඈ හරිම විවෘතයි, නිහතමානීයි, හැම කෙනෙක් එක්කම කතා බස් කරනවා’ යැයි ඇගේ සමීප මිතුරියෝ කියති.
‘පමණට වඩා හොඳ අයට’ මේ ලෝකයේ පැවැත්ම අඩු යැයි කියමනක් තිබේ.
ජෝර්ජියානා 2015 වසරේදීද ඇරියානා හමු වී තිබිණි. ඒ දෛවෝපගත දිනයට පෙර දා ඇය ඉමහත් උද්වේගයෙන් යුතුව තැබූ ට්විටර් සටහන මෙසේ ය. 'හෙට ඔබව දකිනකල් මට ඉවසිල්ලක් නෑ' (SO EXCITED TO SEE YOU TOMORROW)
නමුත් තම සිහින තාරුකාව සමග හෙට දිනයේ මරුවාද දකින්නට ඇයට සිදුවන බව ඇය ඒ මොහොතේ දැන සිටියේ නැත.
සුපිරි ගායිකා ඇරියානා ග‍්‍රෑන්ඩ් මේ පිපිරුමෙන් මොහොතට පසු ට්විටර් සටහනක් තබමින් කීවේ තමන් ‘හද පත්ලෙන්ම බිඳී ගොස් ඇති බවය. මට වචන නැහැ.’ යැයි ද ඇය කියා තිබිණි.
ඇමරිකානු සුරංගනා කතා කරළිය වූ වන්ස් අ පෝන ටයිම් හි ද ඇය බරපතළ රසිකාවක වූවාය. ඇරීනා සේම ඇය විසින් මේ කතාවේ නළු නිළි කැළ ද වරක් පුද්ගලිකව හමු වී තිබිණි. ඒ 2017 වසරේ අප්‍රේල් මාසයේදීය. එහි රංගන ශිල්පියෙකු වන ෂෝන් මැගියුර්ට ඈ හොඳින් මතක තිබේ. ඔහු පවසා තිබෙන්නේ ඇය ‘ළාබාල සහ මිහිරිතම’ යුවතියක වූ බවයි.
මේ ප‍්‍රහාරය එල්ල වන විට මැන්චෙස්ටර් ඇරීනාහි විසි එක් දහසක පිරිසක් රැස්ව සිටියහ. එයින් අති බහුතරය දරුවන් සහ ළාබාල තරුණ පරපුරය.
මෙය ලියන මොහොතේ ද හාරසියයක පොලිස් භට ඛණ්ඩයක් පිපිරීම සිදුවූ ස්ථානයේය. ඔවුහු එහි අග මුල සොයති. අවස්ථා සම්බන්ධය ඉව කරති. නමුත් මේ කිසිවකින් ජෝර්ජියානා සහ ඈ වැනි තවත් මනෝකායන් 21 කට සිය සුපුරුදු කාය වෙතට පිවිසෙන්නට හැකි වේද ? කිසිසේත්ම නැත.
මරණයක් නොව මෙය, ඝාතනයකි. ඝාතකයා කවුදැයි තවමත් නොදන්නා ඝාතනයකි. ජීවිතය අභිමුවේ සැහැල්ලු බව අත්විඳින්නට වෙරදැරි කුසුමක ඝාතනයකි. කිසිදා සිදුනොවිය යුතුව තිබූ මේ අකල් වියෝව ගැන කිවහැකි එකම සුබවාදී දෙය නම්, දැන් ඇය වෙසෙන්නේ නොමිනිස් බව පිරුණු මේ මිනිස් ලොවෙන් බොහෝ ඈත තැනෙක බවය.
- කි‍්‍රෂාන්ති රාජපක්ෂ
COMMENTS