මේ කතාව හමුවන්නේ බත්තලංගුණ්ඩුව දුපතෙන්.ගිනි මද්දහන විසින් කොතෙක් විඩාබර කර තිබුනත් හැරී නොබැලිය නොහැකි කතාවක්.ගොඩබිමෙන් සැතපුම් 30ක් ප...
මේ කතාව හමුවන්නේ බත්තලංගුණ්ඩුව දුපතෙන්.ගිනි මද්දහන විසින් කොතෙක් විඩාබර කර තිබුනත් හැරී නොබැලිය නොහැකි කතාවක්.ගොඩබිමෙන් සැතපුම් 30ක් පමණ ඈත දුපතේ ඔවුන් ජීවිතයේ පදවැල් එකිනෙකට අමුණනවා.කාලෙකට කලින් ඒ පදවැල් ගැන ලොකු වේදනාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒත් දැන් දැන් ඒ මුහුදු සුළඟ රැගෙන එන්නේ හෙට දවස ගැන හොඳ බලාපොරොත්තුවක් නම් නෙවෙයි. හිතේ ධෛර්යයත් ගතේ වීර්යත් විසින් ඔවුන් හිස කෙලින් කර ගෙන ජීවත් වුණාට ඒ ජිවිත වල හෙට දවස හරියට කවදාවත් අල්ලගන්න බැරි ක්ෂිතිජය වගේද කියලත් නොහිතුනාම නොවෙයි.
"අපේ ඉස්කෝලේ රජයේ පාසලක් කරන්න.එතකොට අනිත් ළමයින්ට වගේ අපිටත් පොත්,නිළ ඇඳුම් විතරක් නෙවෙයි තව ගුරුවරුත් ලැබෙයි."
මේ බත්තලංගුණ්ඩුව දුපතේ පුංචි ඉස්කෝලේ පුංචි දරුවෝ.එකේ පන්තියේ ඉදලා හයේ පන්තියට එනකම් මේ පුංචි පාසලේ පන්ති පැවැත්වෙනවා.තියෙන එකම ගොඩනැගිල්ලේ බොහොම පිළිවෙළකට මේ දරුවෝ හැමෝම අකුරු කරන්නේ එක ගුරුවරයෙක්ගෙන්.ටිකක් හිතලා බැලුවොත් මේකත් හරි පුදුම ඉස්කෝලයක් තමයි.
අග නගරයට වෙන්න වෙන්න දරුවෝ මොන තරම් පහසුකම් මැද්දේ අධ්‍යාපනය ලබනවද කියලා තේරෙන්න මේ කියන දරුවන්ගේ කතාව හරියට කියවගන්න ඕනේ. කොහොම නමුත් නාවික හමුදාවේ මැදිහත්වීමක් නොතිබුණා නම් මේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතියට දෙවියන්ගේම පිහිට තමයි.පාසලේ ඉන්න එකම ගුරුවරයා පාසලට භාර දෙන්නෙත් නාවික හමුදාව විසින්.මෙච්චර කාලයක් දරුවන්ට ඉගෙන ගන්න පොතපතින් උදව් කරලා තියෙන්නේ පරිත්‍යාගශීලින්.මොන තරම් අඩුපාඩුකම් තිබුණත් හෙට අනිද්දට නිල ලාංජන පැළද වීමේ උත්සවයකුත් මේ පුංචි පාසලේ පැවැත්වෙනවා.සියලු සැරසිලි අර පුංචි අත්වලින්.
"මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.නාවික හමුදාව හරහා තමයි මේ පාසලේ ගුරුවරයා විදිහට එන්නේ.පාසැල කරගන්න බැරිව 2003 වසරේ ඉදන් 2016 වසර වෙනතුරු වහලා දාලා තිබුණේ.දැන් මේ පාසලේ දරුවෝ 40ක් විතර ඉගෙන ගන්නවා.මගේ ඉල්ලීම තියෙන්නේ මේ පාසල රජයේ පාසලක් බවට හැකි ඉක්මණින් පත්කරන්න කියලා.මොකද මේ දරුවන්ටත් ඉගෙන ගන්න අයිතිය තියෙනවා.දැනටමත් බොහොම මහන්සියෙන් දරුවෝ ඉගෙන ගන්නවා.මේ පාසල හදාගන්න පුළුවන්. හැමෝගෙම උදව් ඕනේ."
මේ තමයි දරුවන්ට දෙවියෙක් වගේ ඉන්න තරුණ ගුරුවරයා, චන්දන පීරිස් මහත්මයා. බොහොමයක් දෙනා සැප පහසුකම් හොයා ගෙන යද්දී මේ ගුරුවරයා දරුවෝ හොයාගෙන ඇවිත්.නිවාඩුවක්වත් නොලබා හැමදාම දරුවෝ වෙනුවෙන් පාසලේ දොරකඩ ඉදන් බලා ඉන්නවා.ගුරුතුමා නිවාඩු ගත්තොත් එදාට පාසල වහන්න වෙනවා. චන්දන මහත්මයගේ වචන වලින්ම කිව්වොත් "කොහොමද එහෙම පාසලක් වහලා තියන්නේ".
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=OjOTrkVJIww&feature=youtu.be[/youtube]
අවුරුදු 35ක පමණ අතීත කතාවක් රැගත් මේ දුපතට ධීවර ජනතාව එන්නේ මීගමුවෙන්.බහුතරයකගේ මුල් ගම්බිම් මීගමුවේ.රැකියාව නිසා තමයි දුපතේ දිවිගෙවන්නේ.සමහරු දූපතටම සින්න වෙලා.මේ අයගේ දරුවෝ තමයි බත්තලංගුණ්ඩුව පාසලේ නිත්‍ය සාමාජිකයෝ.ඒ හැමෝම අකුරු ඉගෙන ගන්නේ බොහොම ආසාවෙන්.
"නාවික හමුදාව නිසා තමයි අපේ දරුවෝ අද අකුරක් හරි ඉගෙන ගන්නේ.හැමදේකටම අපිට ඉන්නේ නාවික හමුදාවේ මහත්තුරු.මේ මහත්තුරු ගොඩක් මහන්සියෙන් මේ ඉස්කෝලෙත් හැදුවා.දරුවෝත් දැන් ආසයි ඉගෙන ගන්න.ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ මේ පාසල තව දියුණු කරලා දෙන්න කියලා."
බත්තලංගුණ්ඩුව වැසියෝ හැමෝමත් මේ පාසලට,අර ගුරුවරයාට බොහොම ආදරෙයි.තමන් නොදැකපු ලෝකය දරුවෝ බලන දිහා බලාගෙන ඔවුන් අපරිමිත සතුටක් ලබන බව ඉස්කෝලේ ගැන කතා කරද්දී ඒ මව් පියවරුන්ගේ ඇස්වල දීප්තිය සාක්ෂි දැරුවා.
දුපතේ දේවස්ථානයේ මඟ පෙන්වීමෙන් තමයි පාසල ඉදිවෙන්නේ.
පාසල අද හුස්ම ගන්නේ නාවික හමුදාවේ උදව්වෙන්.තම තමන්ගේම ධෛර්යයෙන් ඔවුන් ජීවිතය හොයාගෙන යනවා, ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය තුළ හිදිමින්ම.අගනුවර බොහෝදෙනෙකුට මේ ජීවිත අනුකම්පාව ඇතිකරන්නක් විය හැකියි.නමුත් ඇත්තටම ඒ ජීවිත මටසිළුටු,සුන්දර වූවක් නොවෙයි.එකිනෙකා කෙරෙහි කැපකිරීම් වලින් පිරුණු ජිවිත.ඒ නිසාම ඔවුන්ට මේ මොහොතේ අවැසි අනුකම්පාව නොවෙයි.ඔවුන් හොයන්නේ ධෛර්යයක් වෙන්න පුළුවන් මිනිස්සු.
"අද මේ දරුවෝ හරියට දෙයක් ඉගෙන ගත්තොත් හෙට ඔවුන් ඔවුන්ගේ ජීවිත හොයා ගනිවී."
මේ තරුණ ගුරුතුමාට ඕනේ තමන්ගේ සෙවණේ හැදෙන මේ දරුවන්ව තව තවත් අධ්‍යාපනයෙන් මුවහත් කරන්න.ගුරුතුමාගේ වගේම දුපතේ හැමෝගෙම ඉල්ලීම පාසල ගොඩනගාගන්න අතදෙන්න කියන කාරණය.
මතක තියාගන්න,මෙහෙම කතාත් මේ මහ පොළොවේ පණ ගැහෙනවා.
ආශිකා බ්‍රාහ්මණ
වීඩියෝ / ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS