ප්‍ර. ආචාර්ය සුනිල් ගුණරත්න මහතාණෙනි, ප්‍රථමයෙන්ම ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳවත් එතැන් සිට මේ දක්වා ඔබේ ගමන් මග පිළිබඳවත් කෙටියෙන්...
ප්‍ර. ආචාර්ය සුනිල් ගුණරත්න මහතාණෙනි, ප්‍රථමයෙන්ම ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳවත් එතැන් සිට මේ දක්වා ඔබේ ගමන් මග පිළිබඳවත් කෙටියෙන් පැහැදිළි කරන්න පුළුවන්ද?
පි. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වුණේ 1973 වර්ෂයේදී. පසුව ගණිතය පිළිබඳ විශේෂ උපාධිය ලබා ගත්තා. අනතුරුව 1977
- 1978 කාලයේදී එම විශ්වවිද්‍යාලයේම සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළා. 1978 සිට 1983 දක්වා රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළා. 1983 දී මම ශිෂ්‍යත්වයක් ලැබ වැඩි දුර අධ්‍යාපනය සඳහා ස්විට්සර්ලන්තය බලා පිටත් වුණා. ඉන් පසුව 1985 දී ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අර්බානා හී ඉලිනොයි විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. 1989 දී ඉලිනොයි විශ්වවිද්‍යාලයේ හොඳම වීජ ගණිතඥයාට (Best Algebrist) හිමි ත්‍යාගය ලැබුණේ මටයි. 1991 දී ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. 1991 දී මා ඇමරිකාවේ සිට බෲනායි රාජ්‍යයේ දාරුස්සලාම් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලැබ එහි ගියා. අනතුරුව 1998 දක්වා එම විශ්වවිද්‍යාලයේ සේවය කර එම වසර අවසානයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. 1999 - 2000 වසරවල කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළා. අනතුරුව 2001 වර්ෂයේ සිට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට බැඳී එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් අද දක්වා කටයුතු කරනවා. ඊට අමතරව මා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති නයිට් එස්. එල්. (NITE SL) ආයතනයේ අධ්‍යයන සභාවේ සාමාජිකයෙක් ලෙස 1999
වර්ෂයේ සිට මේ දක්වා කටයුතු කරනවා.
ප්‍ර. සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබේ අදහස් සහ වැඩ කිරීම් දෙස බලන විට ඔබ හුදෙක් ගණිතය පිළිබඳ විද්වතෙකු පමණක් නොව සමාජය තුළ වැඩ කිරීම
තුලින් පන්නරය ලැබූ පුද්ගලයකු බව මට හිතෙනවා. විශ්වවිද්‍යාල ජීවිතය තුළදී සමාජ ක්‍රියාකාරී ක්‍රියාකාරිකයෙකු ලෙස ඔබ කටයුතු කර තිබෙනවාද? එසේ නම් ඒ මතකයන් යළි අවදි කරන්න පුළුවන්ද?
පි. ඔව්. මම 1973 විශ්වවිද්‍යාලයට ඇතුළු වන විට එහි තිබුණේ අමුතුම තත්ත්වයක්. ශිෂ්‍යයින් නොයෙකුත් දේශපාලන කණ්ඩායම්වලට බෙදී හිටියා. ජනතා
විමුක්ති පෙරමුණේ කැරැල්ල පරාජය වී තිබූ නිසා එක්තරා දුරකට ශිෂ්‍යයින් අතර අන්ද මන්ද ස්වභාවයක් ද වුණා. එක් එක් කණ්ඩායම්වලට බෙදී තිබූ ප්‍රගතිශීලී ශිෂ්‍ය කණ්ඩායම් අතර කිසියම් ආකාරයක සන්ධානයක් ගොඩනැගීමට අපි වෙහෙසුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ‘සමාජ අධ්‍යයන කවය’ බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනුයි. එය ගොඩනැගීමේදී මමත් මූලිකත්වය ගෙන කටයුතු කළා. එහි ආරම්භක සාමාජිකයන් අතර රොහාන් සමරජීව, රාජා විජේතුංග, ගාමිණී සමරනායක, ගාමිණී ස්වර්ණතිලක, අශෝක පීරිස්, නිව්ටන් පෙරේරා, කෑගල්ලේ විමල්, සිරිපාල පැලැන්දගේ, ඉ. හෙට්ටිආරච්චි, වී. විශ්වානන්දදේවන්, ශ්‍රීධරන්, සුගත් වටගෙදර, බමුණාකොටුවේ දිසානායක, ඩබ්ලිව්.එම්. කරුණාරත්න, සරත් වික්‍රමරත්න, යන අය සහ තවත් අය සිටියා. මේ අයට අමතරව පසු කලකදී විලච්චියේ චන්ද්‍රපාල, කැකිරාවේ කුමාරසිංහ බණ්ඩා, මහින්ද දේශප්‍රිය, දයාන් ජයතිලක, ශාන්ත බණ්ඩාර, රිචඞ් පෙරේරා, රාජසිංහ බණ්ඩාර, සිරිල් වෙද ගෙදර, සෝමපාල ගලප්පත්ති බෙන්තර කරුණාසේකර යන අයත් මුලින් නම් සඳහන් කල අය හා සෙසු අය අපත් සමඟ සමාජ අධ්‍යයන කවය තුළ කටයුතු කළා. මේ අය පසු කාලයේ දී ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර තුළ ප්‍රසිද්ධියට පත් වෙනවා. සමාජ අධ්‍යයන කවය හරහා අපි කලාව, දේශපාලනය වැනි විෂයයන් පිළිබඳ සංවාදයන් ගොඩනංවනවා. වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, අමරදේව වැනි කලාකරුවන් මෙන්ම එවකට වාමාංශික දේශපාලනයේ සිටි විද්වතුන් කැඳවා විවිධ වැඩසටහන් සංවිධානය කළා.
විශ්වවිද්‍යාල ජීවිතය තුළ මට අමතක නොවන සිද්ධියක් තමයි වීරසූරිය ඝාතනය. එය සිදු වූයේ 1976 වර්ෂයේදීයි. ඒ වන විට 1971 කැරැල්ල නිසා සමාජය තුළ
සිවිල් අයිතිවාසිකම් අහිමි වී තිබූ තත්ත්වයකුයි පැවතියේ. එයට විරුද්ධව රට පුරා විශාල ජන මතයක් ගොඩනැගී තිබුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මෙහි පෙරමුණ ගෙන කටයුතු කළා. වීරසූරිය ඝාතනය සිදු වූ දිනට දින කිහිපයකට පෙර සිට ශිෂ්‍යයින් සෙනෙට් එක ළඟ කල්ලි ගැසෙමින් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුණා. පොලිසිය ලවා මෙය මැඩ පැවැත්වීමේ සූදානමක්ද එම මොහොත වන විට නිර්මාණය වෙමින් පැවතුණා. මෙම අවදානම අවබෝධ වූ හෙයින් එවකට ක්‍රියාකාරී කමිටුවේ සිටි මමත් රාජා විජේතුංගත් හරියටම ඝාතනයට පෙර දින පාර්ලිමේන්තුවට පැමිණියා.
එවකට රජයට සම්බන්ධ වී සිටි පාර්ලිමේන්තුවේ වාමාංශික නැඹුරුවක් ඇති මන්ත්‍රීවරුන් මුණගැසීම එදා අපේ අරමුණ වුණා. ඒ වන විට පාර්ලිමේන්තුවේ
විපක්ෂයේ සිටි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා එදින අපිව පාර්ලිමේන්තුව ඇතුළට ගැනීමට සමත් වුණා. නන්ද එල්ලාවල, ටෙනිසන් එදිරිසූරිය, කැකිරාවේ ජිනදාස යන මන්ත්‍රීවරුන් ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපි හමු වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්ගත වී තිබූ තත්ත්වයට සාධාරණ විසඳුමක් නොදුන්නොත් රජයෙන් ඉල්ලා අස් වන බවට ලියවිල්ලකට අපි ඔවුන්ගෙ න් අත්සන් ගත්තා. මේ අවස්ථාවේ දී පේරාදෙණිය සරසවියේ තත්වය පිළිබඳව අප වෙනුවෙන් මන්ත්‍රී වරයෙක් ප්‍රශ්නයක් ඇසූ විට විශ්වවිද්‍යාලය වසා නැති බවත් කිසිදු ප්‍රශ්නයක් නැති බවත් වැඩ බලන අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කළ බව මතකයි. මේ කටයුත්ත ඉවර කර යළිත් රාත්‍රී 9.00 ට පමණ අපි පේරාදෙණිය බලා පිටත් වුණා. වීරසූරිය ඝාතනය වූයේ පසු දින එනම් 1976 නොවැම්බර් 11 වෙනිදා පෙරවරු 6.30 ට පමණයි. ඒ වන විට මමත් එම ස්ථානයේ හිටියා. පොලිසිය අපට නිර්දය ලෙස පහර එල්ල කළා. මාගේ හිසටත් තදබල ප්‍රහාරයක් එල්ල වුණා. අපි සියයකට වැඩි ප්‍රමාණයක් රෝහල් ගත කළා. මාගේ හිසට මැහුම් අටක් දැම්මා. පසුව තුවාල සිදුවූ සිසුන් බැලීමට එවකට වැඩ බලන අගමැතිතුමා වූ මෛත්‍රීපාල සේනානායක, හෙක්ටර් කොබ්බෑකඩුව සහ පීටර් කේනමන් යන ඇමතිවරු රෝහලට
ආවා මතකයි. නමුත් ඔවුන් තුවාල සිදුව ඇති ශිෂ්‍යයින්ගේ දෝෂාරෝපණයට ලක් වුණා. ඝාතනයට පෙර දින අපේ ලියවිල්ලට අත්සන් තැබූ මන්ත්‍රීවරු වීරසූරිය
ඝාතනයට පසුව ඇති වූ දේශපාලන අර්බුද හේතුවෙන් රජයෙන් ඉල්ලා අස් වුණා. නන්ද එල්ලාවල, ටෙනිසන් එදිරිසූරිය, කැකිරාවේ ජිනදාස යන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරු 05 ක් හෝ 06ක් එතැන සිටියා මට මතකයි. 1970 පිහිටවූ සමගි පෙරමුණ රජය පෙරළීමට වීරසූරිය ඝාතනය මූලික හේතුවක් වුණා.
ප්‍ර. ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔය කාලයේ අදට වඩා සාධනීය ලක්ෂණ විශ්වවිද්‍යාලයීය සමාජය තුළ තිබුණාද?
පි. බොහෝ දුරට ඔව්. එදා ශිෂ්‍යයින් සමාජ ප්‍රශ්න කෙරෙහි සංවේදීතාවයක් තිබුණා. මම හිතනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමාජ ප්‍රශ්න කෙරෙහි සංවේදීතාවයක් දැක්වීම අත්‍යාවශ්‍ය කරුණක්. අප සමාජ අධ්‍යයන කවයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන කාලයේ සාකච්ඡාවට බඳුන් වන න්‍යායයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ නිසා වෘත්තීය සමිති සමඟ එකතුව වැඩ කිරීමට පටන් ගත්තා. කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළේ ශන්මුගදාසන් මහතාගේ වෘත්තීය සමිතියත් එච්. එන්. ප්‍රනාන්දු මහතාගේ ලංකා ගුරු සංගමයත් සමඟ අප බෙහෙවින් සමීපව කටයුතු කළා. ඒවගේම ඔවුන්ගේ වෘත්තීය අරගලවලට සහයෝගය ලබා දුන්නා. ඒ තුළින් අප විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා. මම හිතන්නේ විශ්වවිද්‍යාලයක මූලික කරුණක් විය යුත්තේ සමාජය ගවේෂණය කිරීමයි. විශ්වවිද්‍යාලය තුල නිර්මාණශීලීත්වයක් බිහි වන්නේ එවිටයි. උදාහරණ ලෙස මහාචාර්ය සරත්චන්ද්‍රයන්ට ස්වකීය නාට්‍ය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිභාවය ලබා ගත්තේ සමාජය තුළිනුයි.
අනෙක් අතට ඒ කාලයේ සිසුන් කලා, වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා ආදී වශයෙන් වෙනම ජීවත් වීමට පුරුදු වී සිටියේ නැහැ. උදාහරණයක් ලෙස අපේ සමාජ
අධ්‍යයන කවයේ ක්‍රියාකාරීත්ව ලෙස එහි සියළුම පීඨවලට අයත් සිසුන් සිටියා. එවැනි එකතුවක් තුළ විවිධ කරුණු සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති කර ගැනීමට අපිට හැකියාව ලැබුණා.
ප්‍ර. විශ්වවිද්‍යාලය තුළ ඔය කියන පිරිහීම ඇතිවීමට හේතු භූත වූ කරුණු මොනවාද?
පි. මං හිතන්නේ 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ එකිනෙකා පරයා නැගී සිටීමට වෙර දරන සමාජයක් ඇති වුණා. ඒවගේම පුහු ආටෝපයට යොමු වී ඒ පසුපස දුවන සමාජයක් බිහි වුණා. මිනිසුන් තමන්ගේ ස්වාර්ථය පිළිබඳව සොයා බලනවා මිස තමන්ගෙන් සිදු විය යුතු සමාජමය කාර්යය පිළිබඳ සැලකිල්ලක් දැක්වූයේ නැහැ. විශ්වවිද්‍යාලය තුළට අනිවාර්යයෙන්ම මේ තත්ත්වය කාන්දු වුණා. ක්‍රම ක්‍රමයෙන් විශ්වවිද්‍යාල නිර්මාණශීලීත්වයෙන් මොට සමාජමය කාර්යභාරයෙන් මිදුණු ටියුටරි වැනි ආයතන බවට පත් වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරු අධ්‍යයන කාර්යයට වඩා පරිපාලන තනතුරුවලට පොරකෑමට පටන් ගත්තා. සමාජයෙන් වෙන් වීම නිසා සමාජය තේරුම් ගත නොහැකි තත්ත්වයකට පත් වුණා. අද වන විට විශ්වවිද්‍යාලවලට තිබූ සමාජගරුත්වය නැත්තටම නැති වන තත්ත්වයකට පත්වී තිබෙනවා.
ප්‍ර. ඔබ විදේශගතවී සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 15 ට පමණ පසුවයි. ඉන් පසු වසර කිහිපයක් නිහඩව සිට ඔබේ ශක්ති මට්ටමෙන් නැවතත් යම් සමාජමය කාර්යභාරයක් ඉටු කිරීමේ උත්සාහයක් දක්නට ලැබෙනවා. මෙයට හේතු වූ කරුණු කාරණා මොනවාද?
පි. මම විදේශගත වෙලා සිටි කාලය තුළ ශ්‍රී ලංකා සමාජයේ විශාල වශයෙන් වෙනස්කම් ඇතිවෙලා තිබුණා. ඒ තත්ත්වය තේරුම් ගැනීමට වසර කිහිපයක්
ගතවුණා. මුදල් පසුපස හඹා යන සමාජයක් නිර්මාණය වී තිබූ බැවින් සමාජ ආර්ථික ක්‍රියාවලියේ දී අසාධාරණයට ලක් වන්නන් නිර්දය ලෙස අත්හැර දැමීමත්
දකින්නට ලැබෙනවා. මම හිතන විදියට මේ තත්ත්වය වෙනස් කිරීමට පක්ෂ දේශපාලනයෙන් තොර සමාජ ක්‍රියාකාරීත්වයක් ඇතිකළ යුතු යි. හැබැයි එම
ක්‍රියාකාරීත්වය දේශපාලනික නොවිය යුතු යැයි මා අදහස් කරන්නේ නැහැ. මොකද අප කරන ඕනෑම ක්‍රියාවක දේශපාලනික වශයෙන් අර්ථයක් තියෙනවා. මෙන්න මේ කාරණා නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අපේ සමාජ වගකීම ඉටුකිරීම අත්‍යවශ්‍ය යැයි මට හැගී ගියේ.
ප්‍ර. පවතින දේශපාලනයට අනුගත නොවී ඔබ අදහස් කරන වෙනස්කම් සමාජය තුළ ඇති කිරීමට පුළුවන් යැයි ඔබ හිතනවා ද?
පි. ඒකට මට මෙන්න මෙහෙම උත්තර දෙන්න පුළුවන්. අපි දන්නවා කලාමැදිරියෙකුට බැහැ තවත් කෙනෙකුට උගේ ආලෝකය ලබා දෙන්න. නමුත්
කලාමැදිරියාට පුළුවන් එළිය පිළිබඳ මතයක් කෙනෙකු තුළ ඇතිකරවන්න. තවදුරටත් කියනවා නම්, එළිය කියා දෙයක් තිබෙන බව වටහා දෙන්න ඌට පුළුවන්. අපේ උත්සාහයත් ඒ වගේ. සමහරවිට අප කිරීමට උත්සාහ දරන දේ අපට කළ නොහැකි විය හැකියි. නමුත් එය කළ හැකි බවට හා කළ හැකි ආකාරය පිළිබඳව මතයක් ඇති කිරීමට පුළුවන් වෙනවා. අනෙක් අතට අපි පවතින දේශපාලන පක්ෂ හරහා හෝ මහා පරිමාණ සමාජ සංවිධාන හරහා ක්‍රියාකිරීමට පෙළඹුණහොත් අපේ මූලික අරමුණු අර සංවිධාන ව්‍යූහය තුළ දිය වී යනවා.
ප්‍ර. හොඳයි. ඔබ ඔය කියන ආකාරයට වැඩ කිරීම අදත් සමාජය තුළ පවතිනවා නේද? කිසියම් විපතක් සිදු වූ අවස්ථාවල දී හෝ පහසුකම් නැති දුෂ්කර ප්‍රදේශවලට ගොස් යම්කිසි භාණ්ඩ හෝ සේවා ලබාදීමට ඉදිරිපත්වන සමාජ සේවා සංවිධාන හා රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල එකමුතුව අපිට දකින්නට ලැබෙනවා නේද?
පි. අප වැඩකරන්නේ කිසිසේත්ම ඔබ කියූ ආකාරයට නොවෙයි. ඔබ ඔය කියූ ආකාරය තවත් මධ්‍යම පාන්තික ක්‍රියාවක් පමණයි. එම ආකාරයට වැඩ කිරීම තුළින් සමාජය වෙනස් කිරීමට හෝ වෙනස් කිරීම පිළිබඳ මතයක් ඇති කළ නොහැකි යි. ඔබ ඔය කියන ආකාරයේ වැඩ කිරීම්වලට හේතුව වෙලා තියෙන්නේ තමන්ගේ සමාජයට යම් කිසි මෙහෙවරක් ඉටු වූ බවට ආත්මය රවටා සකසා ගැනීමට හැකියාව ලැබෙන නිසා යි. හැබැයි ඒ ආකාරයේ සමාජ මෙහෙවරවල්වල යෙදීම පිළිබඳව අපි නිශේධනාත්මකව බලන්නේ නෑ. මොකද කිසිවක් නොකිරීමට වඩා යම්කිසි දෙයක් කිරීමට උත්සාහ කිරීම වැදගත්.
ප්‍ර. එසේනම්, ඔබ හා ඔබ පිරිස සමාජයට වැඩ කිරීමට ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් ද?
පි. අප වැඩකරන ආකාරය පිළිබඳව සිව්වැදෑරුම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ හැකි යි. පළමුවැනි ප්‍රතිපත්තිය තමයි අපේ සේවය ලබාදීම සඳහා සැමවිටම
ඉලක්ක කරගත යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණයේ සහ සමාජ ක්‍රියාකාරීත්වයේ විධිමත් සැලකිල්ලට භාජනය නොවූ දුෂ්කර ප්‍රදේශවල ජනතාවයි. ඊට හේතුව තමයි
සංවර්ධනය පටන් ගත යුත්තේ පරිවාරයෙන් බව අප විශ්වාස කිරීම යි. එම නිසා තමයි අපි අපේ වැඩසටහන් සඳහා කැබිතිගොල්ලෑව, පස්සර වැනි දුෂ්කර ප්‍රදේශ තෝරා ගත්තේ.
සංවර්ධනය පිළිබඳ කටයුතුවල දී රජයේ ආයතන හා ප්‍රතිපත්තිය ලෙස ගමේ සිට සංවර්ධනය සිදුවිය යුතු යැයි පිළිගන්නා අවස්ථාවල දී ඔවුන් කොළඹ සිට ගමට යනවාය කියා කියන්නේ තවත් මධ්‍යම පාන්තික ස්ථානයක්ම තෝරාගැනීම යි. එයට හේතුව ඔවුන් පරිවාරය ලෙස තෝරාගනු ලබන්නේ කේන්ද්‍රය හා පරිවාරය අතර ස්ථානයක් වීම යි.
අපගේ දෙවැනි ප්‍රතිපත්තිය තමයි සේවාවන් ලබාදීමෙන්, ලබන්නන් තෘප්ත කිරීම මිස ඉහළ අධිකාරීන් තෘප්ත කිරීමට බලාපොරොත්තු නොවීම. මම හිතන්නේ අද ශ්‍රී ලංකාවේ තිබෙන විශාල ප්‍රශ්නයක් තමයි අපි හැම විටම අරමුණු කර ගත්තේ ඉහළ අධිකාරීන් තෘප්ත කිරීම පමණක් වීම. විශේෂයෙන්ම මෙය රාජ්‍ය සේවය තුළ තදින් දකින්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඌන සංවර්ධන තත්ත්වයට මෙය දැඩිව බලපානවා. අර මට මුලින් සඳහන් කළ පරිවාරය තෝරා නොගැනීමේ ප්‍රශ්නය මතු වන්නේත් මේ නිසා යැයි කිව හැකියි. මොකද කිසියම් ව්‍යාපෘතියක් හෝ වැඩසටහනක් තෝරා ගන්නා විට ගණිත අවශ්‍යතාවයට වඩා ඉහළ අධිකාරීන්ගේ කැමැත්ත පිළිබඳව සැලකිල්ලට ගන්නවා. සමහර වෙලාවට දේශපාලනඥයන්ගේ
නිලධාරීන්ගේ යෑම් ඊම්, නවාතැන් පහසුව පවා ව්‍යාපෘතියක් තෝරාගැනීමේ තීරණාත්මක සාධකය බවට පත්වෙනවා. මේ නිසා සරලව කියනවා නම්, ඉහළට
නොවෙයි පහළට වගකියන වැඩකිරීමේ කලාවක් නිර්මාණය කිරීමට අප කැප වී සිටිනවා.
තුන්වන ප්‍රතිපත්තිය වන්නේ අවම පහසුකම් හා දුෂ්කරතා යටතේ වැඩකිරීමට ඉදිරිපත් වීම, මෙයත් ඉතාමත් වැදගත්. මොකද බොහෝ විට කොළඹ සිටින
නිලධාරීන්ට ඈත දුරබැහැර ප්‍රදේශවලට සංවර්ධන ව්‍යාපෘතීන් ලබානොදෙන්නේ එහි පැමිණි විට නැවතී සිටීමට ඉහළ මට්ටමේ නවාතැන් හා වෙනත් පහසුකම් සපයා ගැනීමට නොහැකි නිසායි. මෙය ශ්‍රී ලංකාවේ බැරෑරුම් ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙනිසා අවට පහසුකම් හා දුෂ්කරතා යටතේ වැඩකිරීමට පුරුදු පුහුණු වීම සමාජ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය කාරණයක්.
හතරවන ප්‍රතිපත්තිය වන්නේ සුළුවෙන් පුද්ගලයකු හෝ කණ්ඩායමකට සේවය ලබාදීමේ දී ඔවුන්ට ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් එම සේවය සැලසීමයි. මෙය සාදෘෂ්‍යයකින් ඉදිරිපත් කරනවා නම්, වලේ වැටුණු මිනිහෙක් උස්සා ගොඩින් තියන්නේ නැතිව ඔහුට ගොඩ ඒමට ඔහුට ලණුකැබැල්ලක් ලබාදිය යුතුයි. ආත්මශක්තියක් ඇති ධෛර්වන්ත සමාජයක් බිහිකිරීමට හැක්කේ එවිට පමණයි.
COMMENTS