ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලවෙහි පැවති 'තිරසර යුගයක තෙවසර ඇරඹුම' නම් ජනපති පදවි ...
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලවෙහි පැවති 'තිරසර යුගයක තෙවසර ඇරඹුම' නම් ජනපති පදවි ප්‍රාප්තියෙහි දෙවර්ෂ පූර්ණය සැමරීමේ ජාතික උත්සවය අමතමිනි.
එසේම, තමන් සමඟ එක්ව අලුතින් ආණ්ඩු සෑදීමට කිසිවකු අනවශ්‍ය බවත් දැනට තිබෙන ආණ්ඩුව හා එක්වී රට ගොඩ නැඟීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා ආයාචනා කර සිටියේය. ආණ්ඩු පෙරළන හිස් ප්‍රකාශ පසු පස නොගොස් ජනතාව තමන්ට භාර දුන් කාර්යය ඉටු කරන ලෙසත් අනාගත බලය පිළිබඳව මේ මොහොතේ කරන ප්‍රකාශ සමාජ විරෝධී, ජාති විරෝධී සහ රටේ අනාගතයට විරෝධී ප්‍රකාශ ලෙස තමුන් හෙළා දකින බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එමෙන් ම "අගමැතිතුමනි හම්බන්තොටට ඒ කර්මාන්ත එපා නම් ඒටික මට පොළොන්නරුවට දෙන්න. මම ලෑස්තියි පොළොන්නරුවෙන් ඉඩම් දෙන්න. මේ කිසිම තැනක භුමිය අපි පාවා දීලා නැහැ. වසර 65කට අධික කාලයක් අසමගියෙන් හිටපු පක්ෂ දෙකක්, ඒ දේශපාලන සංස්කෘතිය කණපිට හරවලා සහෝදරත්වයෙන් රට ගොඩනගන්න එකතුවෙලා ආණ්ඩුකරනවානම් ඒකට ඇඟිල්ල දික් කරනවා නම් හොඳ මදි." යනුවෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති ශ්‍රී චන්ද්‍රබාබු නායිදු, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමති වරුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.
බලය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයන් හා අපද එකඟය. මන්දයත් පසුගිය වසර දෙක පුරාම ද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කඹ ඇද ඇද සිටියා විනා අවම වශයෙන් 'දින සියය' තුළ කරන්නට පොරොන්දු දුන් සියල්ලවත් ඉටු නොකළ බැවිනි. එහෙත් කර්මාන්තපුරය පොළොන්නරුවට ඉල්ලා සිටීම නම් හුදෙක් ගැලරියට කරන ලද බොළඳ ප්‍රකාශයක් බව කිව යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද අවශ්‍ය වූයේ හැකිතාක් සියල්ල තම ගම් ප්‍රදේශය වූ හම්බන්තොටට ගෙන යාමටය. එහි ඇති ප්‍රයෝජ්‍ය වටිනාකම් පිළිබඳව සලකා බැලුණේම නැත. අද රටක් හැටියට නැව් නොඑනා වරායකට සහ ගුවන්යානා නොඑනා ගුවන් තොටුපළකට වශයෙන් ණය ගෙවන්නට සිදු වී ඇත්තේ එසේ තමන්ගේ 'ගමට ඇදීමේ' සංකල්පය නිසාය.
එසේ හුදෙකලා වූ වරායකින් සහ ගුවන් තොටුපළකින් ප්‍රයෝජන ගැනීම සඳහා එහි කර්මාන්තපුරයක් පිහිටුවීමට සැලසුම් කළ විට බලයට කෑදර හිටපු දේශපාලන පවුලේ උසිගැන්වීම මත වලව්වේ ගැත්තන් පිරිසක් ගල් මුල් රැගෙන එහි කඩා වැදි පමණින් "අනේ, එයාලට එපා නම් අපට දෙන්න" වැනි ප්‍රකාශ කිරීම ජනපති කෙනෙකුට තරම් නොවේ. එසේම පොළොන්නරුවට ගෙනගිය හොත් සිදු වන්නේ 'එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණු කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා' පන්නයේ වැඩකි. හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ පෙරසේම හුදෙකලා වී ණය බර ඉතිරි වන අතර පොළොන්නරුවෙහි අමුතුවෙන් යටිතළ පහසුකම් සකස් කිරීමට ද සිදුවනු ඇත. ජනපතිවරයා මේ ප්‍රකාශය කළේ එසේ කිරීමට සිතාගෙන නොවෙන බව අපිදු දනිමු. නමුත් අපට අවධාරණය කිරීමට අවශ්‍ය වී ඇත්තේ මේ 'තිරසර' බව කියනා 'තෙවසර' තුළදී හෝ කී දේ නොකිරීමට නිදහසට කරුණු මෙන් ම පෙරකී පන්නයේ බාල බොළඳ ප්‍රකාශ නොකර ජනතාවට දැනෙන පරිදි වැඩ කිරීම අත්‍යාවශ්‍ය බවය.
උත්සව සභා කෙතරම් සරුසාර වුවද ජනතාව සිටින්නේ ජීවන බරින් පීඩාවට පත්වය. එහෙත් ජනතාවගේ ඉවසිම තවමත් රතු ඉර ආසන්නයේ හෝ නතර වී පවතී. මෙය කොතෙක් කල් අල්ලාගෙන සිටිය හැකි වේදැයි කීමට නොහැක. ඉදිරි තෙවසර 'තිරසර' වනු ඇත්තේ කයිවාරු අනුව නොව කෙරුවාව අනුවය.
COMMENTS