මේ රජය පෙරලා දැමීමට කිසිවෙකුට නොහැකි බවත් රජය සෙළවුනද, වැටෙන්නේ නැති බවත් ඉදිරියේ දී හොද තීන්දු තීරණ ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්...
මේ රජය පෙරලා දැමීමට කිසිවෙකුට නොහැකි බවත් රජය සෙළවුනද, වැටෙන්නේ නැති බවත් ඉදිරියේ දී හොද තීන්දු තීරණ ගන්නා බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා බේරුවල හල්කදවිල මහා විද්‍යාලීය භූමියේ දී පැවති සතුටු ගම්මාන ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "රුහුණු සංවර්ධන කළාපය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුනා. හම්බන්තොට තිබෙන්නේ නැවි එන්නේ නැති වරායක්. ගුවනින් බලනකොට පෙනෙන්නේ හිස් බිමක්. මෙම වරාය හැදීමට රුපියල් මිලියන එක්ලක්ෂ 97,000 ක් වැය කර කර තිබෙනවා. ඒ සදහා ණය පොලිය වශයෙන් වසරකට රුපියල් මිලියන 9500 ක් රජය ගෙවිය යුතුයි. ලැඛෙන ආදායම රුපියල් මිලියන 200 ක්. ඉතිරි මුදල ලබා ගන්නේ ජනතාවගේ බදු වලින්. එම නිසා මෙම වරාය භූමියේ තෙල් ටැංකි සංකීර්ණය ඉදිකළ යුතුයි. මම මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළත් එය සිදු වුනේ නැහැ. වරායට සැතපුම් 12 ක දුරින් ජත්‍යන්තර මුහුදු සීමාව පිහිටා තිබුනත් එහි ගමන් කරන නැවි මෙම වරායට එන්නේ නැහැ. මොකද තෙල් ටැංකි සංකීර්ණයක් නොමැති නිසා. චීනය සමග වරාය සංවර්ධනය කිරීම සදහා ගිවිසුම අත්සන් කිරීමේ දී ලංසු කැදවන විට වරාය ඉදිකළ සමාගම ඉදිරිපත් කර ඇති ලංසුව වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1100 ක්. නමුත් වරාය සැදීම සදහා ඊට වඩා මුදලක් වැයකර තිඛෙනවා. නමුත් එම සමාගම වටිනාකම දක්වන්නේ අඩු මුදලක්. රුපියල් කෝටි 5000 ක මුදලක් කාගේ හරි සාක්කුවකට ගොස් තිබෙනවා.”
"මත්තල ගුවන්තොටුපලත් සංවර්ධනය කළ යුතුයි. එහි ඉදිකිරීම් කටයුතු සදහා රුපියල් මිලියන 26,000 ක් වැය කර තිබෙනවා. ආදායම බින්දුවයි. තවත් සුදු අලියෙක් විතරයි. මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රීක්ක 02 කේන්ද්‍ර කර ගනිමින් නිදහස් වෙළෙද කළාපයක් ඇති කළ යුතුයි. මම එම කළාපය ඉදිකරන්න කියලා හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළත්, එය ද සිදු කෙරුනේ නැහැ. හිටපු ජනාධිපතිවරයා වර්තමානයේ අලුත් කථාවක් ප්‍රකාශ කරනවා. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය ඉදිකළ හොත් පරිසර විනාශයක් සිදු වෙනවා කියලා. බලය ලබාගන්න බොරු කථා කියනවා. තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීම සදහා පළමුව ගිවිසුම අත්සන් කළේ හිටපු ජනාධිපතිවරයායි. ගණුදෙනු ප්‍රශ්ණයක් හේතුවෙන් තෙල් ටැංකි සංකීර්ණය ඉදිකෙරුනේ නැහැ. දැන් කියනවා පරිසර විනාශයක් සිදු වෙනවා කියලා. විඥානයක් නැති අයත් අපේ සමාජය තුල සිටිනවා.” යැයිද අමාත්‍යවරයා පැවසී ය.
“මෙම රජය පෙරලා දැමීමට කිසිවෙකුට නොහැකියි. සෙළවෙනවා. නමුත් වැටෙන්නේ නැහැ. ඉදිරියේ දී හොද තීන්දු තීරණ ගන්නවා. යහපාලනය තේරෙන්නේ නැති යමපල්ලන්ට එය තේරුම්කර දීමට අපි සුදානම්. රජය ඉදිරියටම ගමන් කරනවා. පවතින දේශපාලන ක්‍රමය වෙනස් කර නිවැරදි ක්‍රමය ස්ථාපිත කර තමයි අපි රට යළි බාර දෙන්නේ. ඒකාබද්ධ විපක්ෂය මොන රංගන දැම්මත් අපි යහපාලනය ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. කිරීමට නොහැකි දේ ඉටුකර පෙන්වනවා. ව්‍යාපාරිකයින් පිටුපස්සේ නොගොස් ජනතාව පිටුපස යනවා. රජය පිහිටුවා අදට වසර 02 යි. හිටපු ජනාධිපතිවරයා හමුදා රජයක් බිහි කිරීමට උත්සාහ කළා. ඊට නීතිපතිවරයා විරෝධය පළ කළා. ඒකාබද්ධ විපක්ෂය මොන දේ කළත් අපේ සටන ඉදිරියටම ගෙන යනවා. ඔවුන්ගේ විරෝධතාවලට අපි යටත් වෙන්නේ නැහැ.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS