ලබන වසර තීරණාත්මක වසරක් බවත් එම වසරේ පවත්වනු ලබන කවර මැතිවරණයකට වුවද ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහ අලුත් පක්ෂය එක්ව සංවිධානාත්මක...
ලබන වසර තීරණාත්මක වසරක් බවත් එම වසරේ පවත්වනු ලබන කවර මැතිවරණයකට වුවද ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහ අලුත් පක්ෂය එක්ව සංවිධානාත්මකව සහ අභියෝගයට සරිලන ලෙස මුහුණ දීමට සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද (25) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිය පක්ෂයේ නායකයන්ට පවරා ඇති නඩුවකට මුහුණදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද සඳහන් කළේය.
“අපට වාර්තා වෙලා තිබෙන අන්දමට මේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය ළඟපාතක පවත්වන එකක් නැහැ. නමුත් ආණ්ඩුව හිතනවා 'අපට නගර සභාවලින් කොටසක් දිනාගත හැකියි' කියලා. ඒ නිසා නගර සභාවල පමණක් ඡන්දය ලබන වසරේ පැවැත්වීමට කටයුතු කරාවි. ලබන අවුරුද්ද ඉතාමත් තීරණාත්මක අවුරුද්දක්. ජනමතවිචාරණයක්, පළාත් පාලන මැතිවරණයක් හෝ කවර ආකාරයේ මැතිවරණයක් ලබන අවුරුද්දේ පැවැත්වුවත් ඒවාට සංවිධානාත්මකව හා අභියෝගයට සරිලන ලෙස මුහුණ දීමට අපි සුදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු, අලුත් පක්ෂය ඇතුළු අපි සියලු දෙනා ඊට ඒකාබද්ධව මුහුණ දෙනවා.“
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනම ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් වන බව පැවසෙනවා. එහෙම වුණොත් ඊට ඔබලා සහයෝගය දෙනවාද? යන්න එහිදි මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,
“ඒ දෙය වෙන්න නම්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇඳේ අනෙක් පැත්තෙන් නැගිටින්න ඕනෙ. ඒ කියන්නේ, එතුමා දේශිය වශයෙන් වගේම ජාත්‍යන්තරවත් මේ හවුල් ආණ්ඩුව රැක ගන්න බැඳී ඉන්න අන්දම අනුවත් වික්‍රමසිංහ මහත්තයාට ගෙවන්න තිබෙන 'ණය ප්‍රමාණය' අනුවත් එහෙම දෙයක් වීමට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඔය වගේ හීන දිහා බලබලා ඉන්න අපට ඕනෙකමක් නැහැ.“
COMMENTS