සමාජජාලයන්හි මේ දිනවල පළවන පරිදි ශ්‍රීපාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රීපාද ස්ථානාධිපති, පැල්මඩුලු රාජමහා වි...
සමාජජාලයන්හි මේ දිනවල පළවන පරිදි ශ්‍රීපාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රීපාද ස්ථානාධිපති, පැල්මඩුලු රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසීය.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ 2016 - 2017 වසර සඳහා ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ වීම සම්බන්ධයෙන් අද (28) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති විශේෂ දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ උන්වහන්සේ කියාසිටියේ ශ්‍රීපාදස්ථාන භූමියට පහලින් පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරීමට අදාළ වගකිවයුතු ආයතනවලින් අවසර ලබාගෙන ඉදිකරන බවට තමන් වෙත එම නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.
එයට විරුද්ධ වීමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ මෙම රැස්වීමේදී අවධාරණය කළේය.
2016 - 2017 ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දේව ප්‍රතිමාවන් සහ පූජා භාණ්ඩ රත්නපුර- පලාබද්දල මාර්ගය ඔස්සේත් රත්නපුර - අවිස්සාවේල්ල, හැටන් මාර්ගය ඔස්සේත් පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් ශ්‍රී පාද මළුව දක්වා වඩම්මන බව උන්වහන්සේ මෙහිදී පැවසීය.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදී පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මෙම රැස්වීමේදී එකඟතාවයකට පැමිණි අතර නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ සංයුක්ත තැටි අළෙවියද වන්දනාකරුවන් පැමිණෙන මාර්ගවල පිහිටි ජලාශවල දිය නෑමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. සරවනන් මහතා ප්‍රකාශ කළේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ මරේ දිය ඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරීම සඳහා සියලුම අයිතිවාසිකම් සහිතව අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවසර ලබාදී ඇති බවත්ය.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS