උතුරු පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් වශයෙන් එම පළාතේ සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ මූල...
උතුරු පළාතේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් වශයෙන් එම පළාතේ සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිවාඩු සහ දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
උතුරේ සෙසු නිලධාරීන්ට හදිසි අවශ්‍යතා සඳහා නිවාඩු අවශ්‍යය වන්නේ නම් ඔවුන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පෞද්ගලිකවම හමුවී නිවාඩු ලබාගත යුතු බවද මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ පොලිස් පණිවිඩයෙහි සඳහන් වේ.
උතුරු පළාතේ මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා දුන් උපදෙස් මත උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා විසින් මෙම විශේෂ පොලිස් පණිවිඩය ඊයේ (26) නිකුත් කර ඇත.
මේ වනවිට නිවාඩු සහ දින විවේක ලබා කාර්යාලයෙන් පිටවී ගොස් සිටින උතුරු පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ, මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිවාඩු ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඔවුන් යළි සේවයට කැඳවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මහාධිකරණ නඩුවලට පෙනී සිටීමට නියමිත නිලධාරීන් සිටින්නේ නම් ඔවුන්ට පමණක් නිවාඩු අනුමත කරගෙන පිටවී ගිය හැකි බව විශේෂ පොලිස් පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇති බව පොලීසිය කියයි.
COMMENTS