පසුගිය 19 වැනිදා හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධනය කරනු ලැබූ මාර්ග කිහිපයක් විවෘත කිරීම හා තවත් මාර්ග කිහිපයකට මුල්ගල් තැබීම නිමිත්තෙන් ප...
පසුගිය 19 වැනිදා හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධනය කරනු ලැබූ මාර්ග කිහිපයක් විවෘත කිරීම හා තවත් මාර්ග කිහිපයකට මුල්ගල් තැබීම නිමිත්තෙන් පැවැති උත්සව මාලාවේදී ලියනගොඩ ලුණුමෝදර මාර්ගයේ එක් කොටසක් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවෘත කොට ඇති අතර එම මාර්ගයේම අනෙක් කොටස මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් විවෘත කොට තිබේ.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා මාර්ගයේ උයනගොඩ ප්‍රදේශය විවෘත කොට ඇත්තේ හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගේ ආරාධනය මතයි.
එම මාර්ගයේම ලුණුමෝදර ප්‍රදේශයෙන් මාර්ගය මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා විසින් විවෘත කොට ඇත්තේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ආරාධනයෙනි.
මෙලෙස එකම මාර්ගය අමාත්‍යවරුන් දෙදෙනකු විසින් දෙකොනකින් විවෘත කිරීම පිළිබඳව හබරාදුව ප්‍රදේශයේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
එමෙන්ම යහපාලන ආණ්ඩුවේ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන් වෙන් වෙන්ව ගොස් එම මාර්ග විවෘත කිරීම හා මුල්ගල් තැබීම එහි විශේෂත්වයකි.
මාර්ග විවෘත කිරීමෙන් පසුව හබරාදුව ආසනයේ එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා විසින් සංවිධානය කළ උත්සව සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගි වී ඇති අතර හබරාදුව ආසනයේ ශ්‍රීලනිප සංවිධායක අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් සංවිධානය කරනු ලැබූ උත්සව සඳහා රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා සහභාගි වී තිබේ.
මෙකී මාර්ග සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්වරුන් අතර මත ගැටුමක් ඇති වූ බවද වාර්තා වේ.
මේ සම්බන්ධව හබරාදුව ආසනයේ එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ," මේ මාර්ග සංවර්ධනය කරන්න හබරාදුව ආසනයට මුදල් ගෙනාවේ මම. තල්පේ - හීනටිගල මාර්ගය සඳහා මුදල් වෙන්කරගත්තේ මම. තල්පේ - මිහිරිපැන්න මාර්ගය හදන්න මහාමාර්ග අමාත්‍යාංශයෙන් ලක්ෂ 600ක මුදලක් වෙන් කරගත්තා. මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා තමන් මුදල් වෙන්කරගත්තු බව කියමින් චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා බෝඩ් ගහනවා. මේවා ලැජ්ජා නැති වැඩ. මා හබරාදුව ආසනයේ දැවැන්ත සංවර්ධනයක් කරමින් ඉන්නවා. මම වාගේ සාමාන්‍ය සංවිධායකවරයෙක් ආසනයට මුදල් ගෙනවිත් වැඩ කරන විට චන්දිම වීරක්කොඩි ඇමැතිතුමා ඒවායින් ලකුණු දමා ගන්න හදනවා. අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න එපා කියලා චන්දිම ඇමැතිතුමාට මා කියනවා. අනුන්ගේ ගෙවල්වල කූඩු හදන්න එපා. ජනතාව දන්නවා කවුද සල්ලි ගෙනාවේ කියලා. ඒවා ලිඛිතව මට ඉදිරිපත් කරන්න පුළුවන්. මේවා බොලඳ වැඩ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා එක්ක මේ මාර්ග විවෘත කරන්න අපි යන විට මුදල් වෙන් කෙළේ චන්දිම ඇමැතිතුමා කියලා බෝඩ් ගහලා තියෙනවා" යනුවෙනි.
අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ," කැබිනට් මණ්ඩලය තමයි සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කරන්නේ. මම කැබිනට් ඇමැතිවරයෙක්. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු අඳබාලයන්ගේ කතාවලට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවගේ වැඩිම විශ්වාසය දිනාගෙන පාර්ලිමේන්තුවට පත්වූ කෙනා විදියටත් කැබිනට් ඇමැතිවරයකු හැටියටත් අපේ ප්‍රදේශයට වැඩක් කරලා තියෙනවා. වැඩක් කළ කෙනා බව ජනතා විශ්වාසය තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා ඔය වගේ බොළඳ අඳබාලයකුගේ කතාවලට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ. ජනතාව දන්නවා මම කවුද කියලා. කරන්නේ මොකක්ද කියලා. ජනතාව ප්‍රතික්ෂේප කරපු අයෙක් එක්ක වාද කරලා වැඩක් නැහැ." ලෙසයි.
COMMENTS