කොළඹ මහාධිකරණයක රාජකාරියේ නිරත ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරයකුගේ රාජකාරි දුරකථනවලින් හා පෞද්ගලික දුරකථනවලින් ලබා ගන්නා ඇමතුම් මෙන්ම ඒවාට ල...
කොළඹ මහාධිකරණයක රාජකාරියේ නිරත ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරයකුගේ රාජකාරි දුරකථනවලින් හා පෞද්ගලික දුරකථනවලින් ලබා ගන්නා ඇමතුම් මෙන්ම ඒවාට ලැබෙන ඇමතුම් පවා රහසේ සවන්දිය හැකි උපකරණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සවිකර ඇති බවට ඉතා විශ්වාසදායක කටයුතු මාර්ගයෙන් තොරතුරු ලැබී ඇති බැවින් අධිකරණයේ ස්‌වාධීනත්වයට හා විනිසුරුවරුන්ගේ කීර්ති නාමයට අයුතු බලපෑම් කරන එකී නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
පසුගියදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගම් හමුවකදී මේ පිළිබඳව පෙන්වා දෙමින් අදහස් දක්‌වා ඇති ජනාධිපති නීතිඥ වර්ණකුලසූරිය මහතා මේ සම්බන්ධයෙන් හැකි ඉක්‌මනින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සමග ත්‍රිපුද්ගල ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එකී ත්‍රිපුද්ගල නඩුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා රාජකාරි කරන කොළඹ වානිජ මහාධිකරණයේ රෙජිස්‌ට්‍රාර්වරයාගේ හා විනිසුරු නිල මැදිරියේ සවිකර ඇති ස්‌ථාවර දුරකථන මෙන්ම විනිසුරුවරයාගේ පෞද්ගලික දුරකථනවලට ද උපකරණ සවිකර ඒවාට රහසේ සවන්දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වර්ණකුලසූරිය මහතා එහිදී පෙන්වා දී තිබේ.
එවැනි අයුතු ක්‍රියාදාමයක් සිදුවී ඇත්නම් එය අධිකරණයේ ස්‌වාධීනත්වයට ඉතා අහිතකර මැදිහත්වීමක් ලෙස තමා දකින බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයා වෙත පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අලගරත්න මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණ විනිසුරුවරයකුට සෙසු වෘත්තීන්වල නියැලෙන පුද්ගලයන්ට මෙන් විවෘත පොදු ජනතාව හමුවට හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අවස්‌ථාව නොලැබෙන නිසා ඔවුන්ට අත්විඳීමට සිදුවන මෙවැනි අකටයුතුකම්වලට නීතිඥ වෘත්තියේ නියැලෙන වෘත්තීය සංගමයක් ලෙසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.
COMMENTS