ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමි...
ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමියේ ඊයේ (28) සිදුකළ කැණීමකදී සොයා ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කටුගම්පොල මහතා පවසයි.
දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවැති බවට ගම්වාසීන් අතර පැවති තොරතුරක් මත කරනු ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කටුගම්පල මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප‍්‍රකාශන අංශයේ මූල්‍යමය අනුග‍්‍රහය මත මෙම කැණීම් පසුගිය 15 වැනිදා ආරම්භ කර තිබේ.
දෙවලපොළ පාසලට ඇතුළු වන ප‍්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි කුටීරවලින් නිමැවූ සුසාන භූමිය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොළොවේ ඔරුවක් හැඩය ඇතිව මැටි ගසා සාදන ලද බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අළු දමා තැන්පත් කර තිබියදී හමුවී ඇති බවත් කිහිප දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටි තුළ ඇති බව විශ්වාස කෙරෙන බවත් මංගල කටුගම්පොල මහතා සඳහන් කළේය.
මෙවැනි සුසාන භූමි දැකිය හැකි වන්නේ තෙත් කලාපයේ හා අන්තර් සංක්‍රාන්තික මධ්‍ය කලාපයෙ දැකිය හැකි බවත් මෙවැනි සුසාන භූමි උඩරංචමඩම, කලෝටුවාව ප්‍රදේශයන්ගෙන් සොයාගෙන ඇති බවත් ගස්පේ ප්‍රදේශයේ ඇති බවට වාර්තා වී ඇති බවද කටුගම්‍පොල මහතා පැවසී ය.
දැනට හමුවී ඇති කොටස් භෞතික ලක්ෂණ අනුව වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන කළ හැකි යැයිද මෙම පර්යේෂණය තුළින් විධිමත් කාල නිර්ණයක් තීරණය කිරීම, හමුවී ඇති අවශේෂ කොටස්වලින් එදා ජනතාව ජීවත්වූ අන්දම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතික ලක්ෂණ හා සමාජීය පසුබිම හෙළි කරගැනීමටත්, එහි ඓතිහාසික බව හෙළිකරගෙන එම දැනුම සමාජගත කිරීම අරමුණු කර ඇතැයිද කටුගම්‍පොල මහතා සඳහන් කළේය.
මේ වනවිට විශාල ප්‍රමාණයේ කුටීර දෙකක් මතු කරගෙන ඇති අතර ඒවායේ තිබි අඟුරු මැටි මුට්ටි හා පාෂාණ කොටස් හමුවී ඇත. මළසිරුරු පුළුස්සා ලැබුණු අළු මෙසේ හමුවී ඇති බරණිවල තැන්පත් කර තිබූ බව අනාවරණය කරගෙන ඇත.
මෙම කැණීම්වලදී ලැබි ඇති අඟුරු සාම්පල් විශ්‍ලේෂණය කිරීමෙන් කාලනිර්ණය කිරීමත් වළං කටුවලින් එදා මිනිසාගේ සංස්කෘතික හා සමාජීය ලක්ෂණ අනාවරණය කරගැනීමටත් ඔවුන්ගේ අවමඟුල් චාරිත්‍ර පිළිබඳව හෙළි කරගැනීමටත් අපේක්ෂා කෙරෙන අතර තවදුරටත් කැණීම් කටයුතු සිදුකෙරෙමින් පවතී.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS