නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (17)යෙදී ඇත. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිනි පුන්...
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (17)යෙදී ඇත.
ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිනි පුන් පොහෝ දිනයේ දී පසුවස් එළැඹීම සිදු කෙරේ.
සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුණේ අද වැනි පොහෝ දිනකදීය.
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මගහැරී ගිය භික්‍ෂූන් වහන්සේලා පසුවස් එළඹෙන දිනය වීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම හා පුරාතන අරියවංශ දේශනා උත්සවය සිදු කිරීම යන කරුණු නිකිණි පොහොය හා සම්බන්ධයෙන් වැදගත් තැනක් ගනී.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදු දහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී දෘෂ්ටීන් සියල්ල මුලිනුපුටා දමා ශාසනය චිරස්‌ථායී කිරීමේ උදාරාධ්‍යාශයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව පැවැත්වීය. බුදුරදුන් දේශනා කළ ධර්මය ක්‍රමානුකූලව සකස්‌කොට එය ආරක්‍ෂා කරලීම සඳහා ගත් මූලික පියවර වශයෙන් එය හැඳින්විය හැකිය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී ශාසන ඉතිහාසයෙහි දැක්‌වෙන ආදිම වැදගත් සිද්ධිය වේ. ධර්ම සංගායනාවට පෙර බුදුරදුන්ගේ අග්‍රඋපස්‌ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීමද තවත් වැදගත් සිදු වීමකි.
විනය විරෝධීන්ගේ එක් සංකේතයක් වූ සුභද්‍ර භික්‍ෂුවගේ විනය විරෝධී ප්‍රකාශය ප්‍රථම ධර්ම සංගායනාව සිදු කිරීම සඳහා මූල හේතුව වූ බව චුල්ලවග්ග පාලියෙහි දැක්‌වෙයි. ශාස්‌තෲ වියෝගයෙන් වැළපෙන භික්‌ෂූන් වහන්සේලා අමතා ඔවුන් අස්‌වැසීම් වස් සුභද්‍ර මෙවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කළේය. "ඇවැත්නි, කම් නැත. ශෝක නොකරව්. නොවැළපෙව් අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැපය. මෙය තොපට නොකැප යෑයි කීමෙන් උපද්‍රවයටද පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමැති නම් එය කරන්නෙමු. යමක් නොකැමැත්තෙමු නම් එය නොකරන්නෙමු. සුභද්‍ර වැනි දුර්වල පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පමණක්‌ම මෙම සංගායනාව පැවැත්වීමට හේතු වී යෑයි, සිතීම දුෂ්කර ය. සුභද්‍ර ගේ ප්‍රකාශය ඒක පුද්ගල ප්‍රකාශයක් වශයෙන් තක්‌සේරු කිරීමට වඩා එම පසුතලයෙහි සිට ඒ හා සමාන ආකල්පවලින් යුතුව එය අනුකරණය කළ විශාල පිරිසක් එකල සිටි බව නිගමනය කිරීම සහේතුකය. එබැවින් ප්‍රථම ධර්ම සංගායනාව වූ කලී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන ශාසන භාරධාරී මහතෙරුන් වහන්සේලා විසින් දූරදර්ශීව කරන ලද ක්‍රියාවක් සේ සැලකීම වඩා උචිතය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනභාරය ඉසිලීමට සුදුසුව සිටි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දුර්මත නිරාකරණය පිණිසත්, බුදුරදුන් ඒ ඒ ස්‌ථානවලදී දේශනා කළ නා නා වර්ගයනට අයත් ධර්ම කොට්‌ඨාසයන් ක්‍රමානුකූලව සකස් කොට බොහෝ කල් පවත්වා ගැනීම පිණිසත් ධර්ම සංගායනාවක අවශ්‍යතාව තීරණය කිරීම තුළින් ඒ බව මැනවින් වටහාගත හැකිය.
සංගායනාව අවසානයේ දී ස්‌ථාවර කරගත් ධර්මය මතු අනාගතය සඳහා සුරක්‍ෂිත කර ගැනීම පිණිස භික්‌ෂු පරම්පරාවනට පැවරූ බව පෙනේ. බුදු දහම චිරාත් කාලයක් පවත්වාගෙන එම සඳහා මෙම කාර්යය උපස්‌ථම්භක වූ බව ශාසන ඉතිහාසයෙන් පෙනේ. මේ අනුව බුදු දහම ක්‍රමානුකූල පදනමක් මත ස්‌ථාවර වූයේ ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසුව බව සඳහන් කළ හැකිය.
COMMENTS