කොවිඩ් අතරේ අපට අද දිනය අමතක වුනේය. ලෝක ආදිවාසීන්ගේ දිනය අදය. ලෝක ආදිවාසී දිනය ප්‍රකාශයට පත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ය. ඒ වර්ෂ 1...
කොවිඩ් අතරේ අපට අද දිනය අමතක වුනේය. ලෝක ආදිවාසීන්ගේ දිනය අදය. ලෝක ආදිවාසී දිනය ප්‍රකාශයට පත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ය. ඒ වර්ෂ 1994 දී ය. ලොව පුරා ජීවත්වන ආදිවාසීන්ට මුහුණ දීමට සිදුවන අභියෝගවලට විසඳුම් ලබා දීමේ අරමුණු සහිතව මෙම දිනය නම් කර ඇත්තේය.
ලොවපුර රටවල් 90ක මිලියන 470ක් ආදිවාසීහු වෙති. ඔවුන් වෙසෙන රටවල් අතර ලංකාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. අප රට තුළ ආදිවාසී ජනතාව දිස්ත්‍රික්ක 06ක ගම්මාන 62ක් තුළ ජීවත් වෙති.
ආදිවාසී දිනයේ දී වැදිනායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් සමග සංවාදයක යෙදෙන්නට ලංකාසරට හැකි විය.
එහිදී වන්නිලා ඇත්තෝ මෙසේ සිය අදහස් දැක්වූහ.
ලෝක ආදිවාසී දිනය සැමරීමේ දී ආදි වාසීන්ට යහපතක් වෙන්න ඕන. අපේ ජනතාවට ප්‍රශ්න තියනව. ඉදිරි කාලයේ දී හෝ අපේ අයගෙ නිදහස, සාමය, සතුට ඉදිරි පැවැත්ම තහවුරු කරමින් අපේ වරිගයේ ආරක්ෂාව සකසයි කියලා මා විශ්වාස කරනව.
ලෝකයේම මිනිස්සු එකතුවෙලා ආදිවාසීන්ගේ දිනය සමරනවා කියලා නැටුම් නටලා සිංදු කියලා උත්සව කරලා වැඩක් නෑ. ඇත්තටම මේ වගේ දිනයකදි ආදි වාසීන්ට තියන ප්‍රශ්න ගැටලුවලින් එකකට හරි විසඳුම් දෙන්න ඕනෑ. එතකොට තමයි මම විශ්වාස කරන්නේ මේ දිනයේ තිබෙන වැදගත්කම.
දැන් වෙනකොට අපේ සංස්කෘතිය ගැන ප්‍රශ්නය තමයි මට තියන ලොකුම ප්‍රශ්නය. අපේ පරම්පරාවේ අද දවස වෙනකොට සමහර ගම් තියනවා, ඒ ගම්වල නායකයන්ටවත් අපේ භාෂාව කතා කරන්න බෑ. සමහර ගම්මාන තියනවා ඒ ගම්වල මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන්.
ආදීවාසීන් කියන්නෙ අපේ තිසාහාමි තාත්තගෙ කාලෙ වගෙ නිදහසේ ජීවත් වෙච්චි කණ්ඩායමක්. අද වෙනකොට ඒ පරිසරය විනාශ වෙන තැනට වැඩ යෙදිලා තියෙන්නේ. ඒ විනාශය නතර වෙන්න නම් අපේ අයට තිබුණු නිදහස, අයිතිවාසිකම් නැවත ලැබෙන්න ඕන. අපේ රටේ ආදිවාසීන්ට තියෙන්නෙ ජීවත්වෙන එකේ ගැටලුවක්.
ජීවත්වෙන්න තියන ගැටලුව තමයි කැලෑවට යන්න බෑ. කැලෑවක ජීවත්වෙන්න තහනම්. එහෙම තහනම් වෙනවා නම් අපේ අයට ජීවත්වෙන්න මාර්ගයක් තියෙන්න ඕන.
සමහර වෙලාවලදි සාකච්ඡා කර තිබෙනවා සංචාරකයන් ට එන්න පුලුවන් ලස්සන පෙනුම තියන ප්‍රදේශයක් කරලා ආදිවාසී නැටුම් ඉදිරිපත් කර, කවි ගායනා කර සංදර්ශන වගේ ව්‍යාපෘති ගැන. එහෙම කරන්න ගියොත් මම හිතෙන්නෙ අපේ පරම්පරාවෙ විනාශය ඉක්මන් වෙනවා.
මම හිතන්නෙ එහෙම නෙමෙයි වෙන්න ඕන. අපේ අයට නිදහසේ ජිවත්වෙන්න ඉඩ දෙන්න ඕන. කැලෑවකට යන්න අවසර දෙන්න ඕන. එහෙම උනොත් අපේ ජනතාව වගේම දඹානත් ආරක්ෂා කරගන්න පුලුවන් වේවි.
නිදහසේ ජීවත්වීමට අපට හැකියාවක් ලැබිලා නැහැ නීති නිසා. පැලක් හදාගන්න ඉලුක් කොළ ටිකක් ලී ටිකක් කපා ගන්න අපට ආණ්ඩුවෙන් අවසර ඕන. එහෙමනම් ආදිවාසී දිනය සමරලා වැඩක් නෑ. ඒ දිනය සමරනවා නම් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ලැබිලා තියෙන්න ඕන.
සතුන් මැරීමේ දී ගොවිතැන් කිරීමේ දී තහනම් තියනවා. නීති රීති තියනවා. බෙහෙත් ටිකක් හරි හොයා ගන්නවා නම් නිලධාරීන්ගෙන් අවසර ගන්න ඕන.
අපේ තාත්තගෙ කාලෙ ඉඳන් අද වෙනකම් සෑම පරම්පරාවකම මේ ප්‍රශ්න ගැටලු තියනවා. එ කාලෙත් මේ ගැන කතා ආණ්ඩුත් එක්ක. රට රටවලත් මේ ගැටලු ගැන කතා කරලා තියනවා. නමුත් මේ හැම ප්‍රශ්නයකටම විසඳුම හිසේ රුදාවට ඒ වෙලාවට බෙහෙත් ටිකක් දානව වගේ වැඩක්.
- කීර්ති ප්‍රනාන්දු
COMMENTS