ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය ජාත්‍යන්තර ක්‍රිකට් චාරිකාවට තිත තැබීමට තීරණය කර තිබෙනවා. ඔහු ඊයේ (15) පස්වරුවේ...
මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන මහේන්ද්‍ර සිංහ දෝනි 2004 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් දිනා ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ අතර 2005 වසරේදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.
ඉතා ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස මුල සිටම කැපී පෙනුණු දෝනි ලොවපුරා බොහෝ දෙනාගේ කතාබහට ලක් වූයේ හොඳම තරග අවසන් කරන්නා (බෙස්ට් ෆිනිෂර්) ලෙසයි. ඔහුගේ එම දක්ෂතාවය කෙතරම්දැයි කිවහොත් දෝනි සිය එක්දින තරග චාරිකාවේ පිතිකරණයට පැමිණි ඉනිම 297 කින් ඉනිම 84 ක්ම අවසන් කළේ නොදැවී සිටිමිනි.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි තීක්ෂණ බුද්ධියක් සහිත ක්‍රීඩකයෙකු මෙන්ම ශූර කපටියෙකු ලෙස ද සැලකිය හැකිය. ඕනෑම අවස්ථාවක පිටියේ පන්දු රකින්නන් අතරින් පන්දුව යවා ලකුණු සොරා ගැනීමට මෙන්ම පන්දු රකින්නන් අන්ද මන්ද කරමින් නැති ලකුණු කරා දිව යාමටද ඔහු රුසියෙකි.
එසේම පිතිකරුවන් මුළා කරමින් දුවද්දී දවා ගැනීමට මෙන්ම අධිවේගී ස්ටම් කිරීම්වලට හසුකර ගැනීමටද ඔහු තරම් සමතෙකු ක්‍රිකට් පිටියේ බිහි වී නොමැත.
පිතිකරණයෙන්, කඩුලු රැකීමෙන් පමණක් නොව නායකත්වයෙන්ද උපරිමය සිය කණ්ඩායමට ලබාදීමට දෝනි සමත් වූ අතර සියලු අංශයේ සීමිත පන්දු වාර ලෝක කුසලාන (එක්දින, 20/20, චැම්පියන්ස් ත්‍රොපි) ඉන්දියාවට හිමිකර දීමට දෝනි නායකත්වය ලබා දුන්නේය. ඉනුදු නොනැවතී ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දිනා ගැනීමටද ඉන්දියාවට හැකි විය.
මීට අමතරව ඔහුගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය තෙවරක් ජයග්‍රණය කළ අතර වසර පහකදී අනුශූරයන් බවට පත්විය. ඉනුදු නොනැවතී චැම්පියන්ස් ලීග් තරගාවලිය දෙවරක් ජයග්‍රහණය කිරීමටද ඔහු චෙන්නායි කණ්ඩායමට නායකත්ය ලබා දුන්නේ.
ඔහුටම ආවේණික හෙලිකොප්ටර් පහර හේතුවෙන් දෝනි තවත් ජනප්‍රිය වූ අතර කවදා කොතැනක කවර ක්‍රීඩකයෙකු එම පහර එල්ල කළද එය නරඹන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට මහේන්ද්‍ර සිං දෝනි නාමය සිහිපත් වනු ඇත.
කොටින්ම කිවහොත් මහේන්ද්‍ර සිං දෝනි යනු ක්‍රිකට් ක්‍රීඩාව මෙළොව පවතිනා තාක් සියලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැඳෙන පුරාවෘත්තයකි.
COMMENTS