මේ වන විට රෙපෙයාර් කිරීමට නොහැකිවන ලෙස එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. අගමැතිවරයා මේ අබව සඳ...
අගමැතිවරයා මේ අබව සඳහන් කළේ බෙලිඅත්ත ගැටමාන්න කිරින්ද ප්‍රදේශයේ පැවති ජනහමුවේදීය.
එජාපයේ දෙකඩ කිරීම සජිත් ප්‍රේමදාස මහතා සියුම් ලෙස කර තිබෙන අතර මෙවර එජාපය ලබන්නේ ඉතිහාසයේ ඉතාම අඩුම ඡන්ද ප්‍රතිශතය බව රාජපක්ෂ මහතා සඳහන් කළේය. මෙය ලංකාවේ පැරණි දේශපාලන පක්ෂයක් වන එජාපයේ අවසානය බවද ඔහු කියා සිටියේය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස වසර 05ක් ඇමතිකම් කර පළාතට කුමක් කළේද යන්න පිළිබඳ සලකා බැලීමට අවස්ථාවක් ලැබී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
"මම එදා ඔබේ ජනාධිපතිවරයා ලෙස උතුරු දකුණු භේදයක් නැතිව රටටම සංවර්ධනය ගෙන ආවා. අපි හම්බන්තොටට වරායක්, ගුවන්තොටුපළක්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වගේම අධිවේගී මාර්ගයක් ලබා දුන්නා.
නමුත් එජාප ආණ්ඩුව වරාය විකුණලා දැම්මා. ගුවන්තොටුපළේ වී ගබඩා කළා. ක්‍රිකට් බෝඩ් එකට බලපෑම් කරලා හම්බන්තොටට පහුගිය අවුරුදු පහේම ක්‍රිකට් තරඟයක් දුන්නේ නෑ. පුවරු ටිකත් ගලවල උස්සගෙන ගියා. යෝෂිතට මට නාමල්ට නඩු දැම්මා. මේක තමයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මානසිකත්වය.
රටක් වශයෙන් අපි ගොඩනැඟෙන්න ඕන. ඒ සඳහා වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. වැඩ කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් අපට ඉන්නවා. ඒ නිසා ජනාධිපතිතුමා නියෝජනය කරන පක්ෂය ශක්තිමත් කරලා එම පක්ෂයේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕන. එහෙම නොවුණොත් ජනතාවට මෛත්‍රී-රනිල්ගේ වගේ දෙගොල්ලගේ ගැටුම් බල බල ඉන්න සිද්ධ වෙයි. එහි පාඩුව මේ රටට සහ ජනතාවටමයි.
වරාය වෘත්තීය සමිති නිලධාරී පිරිසක් මම මුණගැහෙන්න ආවා. ඒ ප්‍රශ්නය අපට සාකච්ඡාවෙන් විසඳගන්න පුළුවන් වුණා. රටවල් දෙකක් ගිවිසුම් අත්සන් කළාම අපට ඒක ඉදිරියට ගෙනයන්න වෙනවා. අනුන්ගේ පව් අපට ගෙවන්න වෙලා අද. යහපාලන ආණ්ඩුව රටේ ඉතිරි සම්පත් ටිකත් විකුණන්න පිඹුරුපත් හදලා අත්සන් කරලා ඉවරයි.
ඒ අනුව රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීම වළක්වන්න හැකි ක්‍රමවේදයක් හැදීමට සිදු වී තිබෙන අතර රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවට යෝජනාවක් ගෙන ඒමටද කටයුතු කරන බව හෙතෙම අවධාරණය කර තිබේ.
COMMENTS